SARASA Concert SA Concert

“ස” සමාප්තිය

 

පුරා වසර 49ක් තිස්සේ නොඑසේ නම් එකුන් අඩසියවසක් මුළුල්ලේ මුළු රට පුරා ගම් නියම් ගම් සැරි සරා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාත්, කොළඹ සිට මඩකළපුව දක්වාත් සිව් දිසාවෙන් නොනැවතී සකල අට දිසා පුරාද සංචාරය කළ මියුරු සංගීත ප්‍රසංගය ලංකාවේ ප්‍රධාන නගරවල දහ දොළොස් වතාවකට වඩා වේදිකා ගත කොට තිබුණි. 1978 දී මැලේසියාවෙන් පටන්ගෙන 1979 සිංගප්පූරුව, එතැනින් එහාට එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, රෝමය, කුවේට්, ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, ජර්මනිය, බහරේන් රාජ්‍යය, නවසීලන්තය, ලෙබනනය ආදී රටවල වර්ෂ 2012 දක්වා සංචාරය කරමින් සිය අනභිභවනීය සංගීත ප්‍රසංගය, 1973 දී ආරම්භ කළ තැනින්ම නිමාව දැක්මට වික්ටර් සැලසුම් කළේ ය. වික්ටර් රත්නායක සිය සුමියුරු සංගීත සජ්ඣායනය මෙරට රාජ්‍ය නායකයන් සියලු දෙනා අභිමුඛව ඉදිරිපත් කිරීමට සමත් විය. ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සිටි රාජ්‍ය නායකයන් සියළු දෙනා වන ජේ.ආර්.ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩි.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ යන නායක නායිකාවන් අභියස තම ප්‍රසංගය ඉදිරිපත් කළ වික්ටර් රත්නායක, සිය සමුගැනීමේ ප්‍රසංගය දින 3කට යොදාගෙන සමාප්ති උළෙලක් හැටියට නිමාව සටහන් කළේ රසික දෙනෙත් කඳුළින් තෙත් කරමින් ය.

ඒ දින තුන මෙසේ සටහන් වෙයි:

වර්ෂ 2012 ජුලි 18 දින සවස 6.30ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රංග ශාලාවේදී ද,

වර්ෂ 2012 ජුලි 19 දා සවස 6.30ට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණසේවා රඟහලේදී ද,

ජුලි 20දා සවස 6.30ට වසර 49 කට පෙර ප්‍රථම ප්‍රසංගය ජන මස්ත්‍රකප්‍රාප්ත වූ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේදීම මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් සමාප්තිය සටහන් කරනු ලැබී ය.

1973 ජූලි 20 දින හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලෙන් ඇරඹූ "ස" ප්‍රසංගය දේශ දේශාන්තර වශයෙන් රට රාජ්‍යයන්හි අති සාර්ථක ලෙස පැවති අතර ඒක පුද්ගල ප්‍රසංගයක් සඳහා මෙතෙක් වැඩිම වාද්‍ය ශිල්පීන් සහභාගී කොට ගත්තේත් "ස" ප්‍රසංගය සඳහා ය.

ඔහු මේ ඓතිහාසික සමාප්තිය සටහන් කරනු ලැබුවේ බොහෝ කාලයක් සිතා බලා සමීප ඇසුරේ සිටි සහෘදයන්ට කරුණු පහදා දීමෙන් අනතුරුවය. අනියත දහම පිළිබඳව කිසියම් සන්නිවේදනයක් කරමින් අතහැරිය යුතු තැන අතහැර දැමීමේ සනාතන දහම රසික ජනතාවට වික්ටර් ඒ ආකාරයෙන් අවබෝධ කොට දුන්නේය.

සමාප්ති සටහන වෙනුවෙන් මුද්‍රණය වූ සමරු කළඹේ වික්ටර් තැබූ සටහන පහතින් වේ. 

“ගායන ශිල්පියකු තමාගේ අක්ෂර උච්චාරණය, ශ්‍රැති මත පිහිටා ගැයීම, භාව ප්‍රකාශනය යන මේවා දුර්වලවීමට පළමු ගායන දිවියෙන් හෙතෙම සමුගත යුතු ය. මා මෙසේ කියන්නේ ශිල්පියකු රසිකයන්ගේ අනුකම්පාවට ලක්නොවිය යුතු බැවින් ය. ගායනවේදියා බහුමානයෙන් පිදුම් ලබන, ගෞරවාන්විත අයකු බව රසිකයන් අතරේ සදාතනික සත්‍යයක් බවට තම ශිල්පයෙන් දක්ෂතා කුසලතා පෙන්විය යුතුය. සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යය යන බුදු වදනේ යථාර්ථය අනුව හැකිදාට නොහැකි දේකුත් නැත, නොහැකිදාට හැකි දේකුත් නැත".

වික්ටර් "ස" ප්‍රසංගය පිළිබඳව මෙළෙසින් අතීතාවර්ජනයේ යෙදේ.

ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග, සුනිල් ආරියරත්න, ආර්. ආර්. සමරකෝන්, චින්තන ජයසේන, හරිශ්චන්ද්‍ර වීරසිංහ, හර්බට් ගුණවර්ධන යන මිතුරු කැළ සමඟ එකල සන්ධ්‍යා භාගය ගතකරන්නේ සතුට සොම්නස බෙදාගනිමින් පොඩි මධුවිතක රස ද ලබමින් ය.  මේ සුහද හමුවීම්වල බොහෝ විට අවසන් නිගමනය වූයේ මවිසින් ඒක පුද්ගල ප්‍රසංගයක් ආරම්භ කළ යුතු බවයි. ප්‍රසංගය සඳහා එකිනෙකට වෙනස් වූ නාමාවලියක් හැදෙමින් මැකෙමින් තිබූ අතර සප්ත ස්වරයේ කිනම් ස්වරයක් මත වුවද "ස" ස්වරය එනම් ශ්‍රැතිය පිහිටවිය හැකි බව මා ප්‍රකාශ කළා මතකය. එය ඇසූ සැණින් චින්තන ජයසේන "එසේනම් අපි මේ ප්‍රසංගය 'ස' නමින් හඳුන්වමු" යැයි අවධාරණය කිරීමත් සමඟම "ස" යන නාමය ස්ථිර විය.

1973 ජූලි 20 වනදා සවස 6.30ට ලුම්බිණි රඟහලේ දොරවල් කැඩෙනවාත්, වීදුරු බිඳෙනවාත් අසා සිටි මට ප්‍රසංගයක් ඉදිරිපත් කරනවා තබා මෙතැනින් පළායම් දැයි සිතුණු වාර අනන්තය. පිරිස නිහඬ කොටගත්තේ පසුවදාත් ලුම්බිණියේ මෙවැනිම ප්‍රසංගයක් කරනවා යන පොරොන්දුව රසිකයාට දීමෙන් අනතුරුවය. ශබ්දවාහිනී, විදුලි ආලෝක ශිල්පීන්, වාදක මඬුල්ල, සමූහ ගායන වෘන්දය සහ නිවේදකයන් එකම බස් රථයක නැගී රට පුරා සැරි සැරූ බව මතක් වන විට අතීත මතක සුවඳ සිහිනයක් මෙන් මැවී පෙනේ. එම ගමන් බිමන් වලදී සිදු වුනු හාස්‍යමය වූත් විනෝදජනක වූත් සිදුවීම් එමටය. ඒවා මතු දිනෙක ග්‍රන්ථාරූඨ කොට එළිදැක්වීමට බලාපොරොත්තුවන බැවින් අතීත මතක මෙතෙකින් නිමා කරමි.

12345678
SA Final Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award