Tributes : ප්‍රේමකීර්ති ද අල්විස්

හිමිදිරි පාන්දර කරේ සාලුවක් දමාගෙන සිය මිදුලේ දසත වවා ඇති මල් පැල මත පිපුනු මල් පොකුරු දෙස දැඩි නිශ්ශබ්දතාවයකින් බලා සිටින වික්ටර් මම දැක ඇත්තෙමි. නැතහොත් මාලු ටැංකියක් දෙස නිහඬව බලා සිටින වික්ටර් මම දැක ඇත්තෙමි. මිතුරෙකු හෝ ආගන්තුකයෙකු හෝ නිවසට ඇතුලුවන විට කටපුරා දැඩි ස්නේහයකින් සිනාසෙන ඔහුට, ගෙබිම එලු පලසක් මත එරමිනිය ගොතා ගෙන දුම් වැටියක් උරමින් පද මාලාවක් දෙස බලා, සර්පිනාවෙන් තනුවක් යොදන වික්ටර් මම දැක ඇත්තෙමි. ඒ හැම මොහොතකම වික්ටර් තුලින් වික්ටර් කෙනෙක් මම දකිමි සමහර විට වේදිකාවක ගී ගයන වික්ටර් පමණක් දැක ඇති රසික පිරිසට අමතරව, ඔහුගේ ගීත ලියන්නෙකු වශයෙන් හා ඉතාම සමීප මිත්‍රයෙකු වශයෙන් මට ඒ අත්දැකීම හොදට හුරුය. වරෙක මා වික්ටර්ගේ පවුලේ සහෝදරයන් අතර සහෝදරයෙකු වීමි. ඔහුගේ මිත්‍රයන් අතරේ මිතුරෙකු වීමි. ඔහුගේ ගීත රචකයින් අතරේ ගීත රචකයෙකු වීමි. ඔහුගේ නිවේදකයන් අතරේ නිවේදකයෙකු වීමි. ඔහුගේ මව සහ පියා අතරේ දරුවෙකු වීමි. ඔහුගේ ශ්‍රාවකයන් අතරේ ශ්‍රාවකයෙකු වීමි. මේ සෑම අවස්ථාවකදීම මම ඔහුට “ප්‍රේම්” වීමි. ඔහු මට “රත්නේ” විය.