SARASA Concert SA Concert

“ස” ප්‍රසංගය පිළිබඳ සැකෙවින්.....

ප්‍රසංගයට පෙර සුදානම....

ස ප්‍රසංගයට නමක් යෝජනා කිරීමේ පළමු හමුවට බණ්ඩාර කේ විජේතුංග, කේ. ඩී. කේ ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, චින්තන ජයසේන, ආර්.ආර්. සමරකෝන්, හරිස්චන්ද්‍ර වීරසිංහ, හර්බට් ගුණවර්ධන, පුණ්‍යසිරි මහවත්ත ආදීහු සහභාගී වූහ.

සප්ත ස්වරයේ මුල් අකුර “ස” නිසා ප්‍රසංගයට "ස" යන නම තබමු යැයි චින්තන ජයසේනයන් යෝජනා කල අතර සියල්ලෝම ඊට කැමති වූහ.

ප්‍රසංගයට ඇඳුම් නිර්මාණය කර දුන්නේ චිත්‍ර ශිල්පී උපසේන ගුණවර්ධනය. ඇඳුම් නොමිලේම ලබා දුන්නේ නූර් ටෙක්ස් ගාමන්ට්ස් අධිපති කරුණාජීව ගනේගොඩ මහතාය.

“ස” ප්‍රසංගයේ ගමන් මග.....

ආරම්භය:

ප්‍රථම දර්ශනය 1973 ජුලි 20 දා හැව්ලොක් ටවුමේ ලුම්බිණි රගහලේදී පැවැත්විණි.

 

“ස” 50 වන දර්ශනය

1974 සැප්තැම්බර් 28 දා ශ්‍රී ලංකා මුද්‍රණ සංස්ථාවේ අනුග්‍රහයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු පළමු ඒකපුද්ගල ප්‍රසංගය වේ.

“ස” 100 වන දර්ශනය

1975 අප්‍රේල් මස 1, 2 සහ 3 යන තෙදින තුළ 98,99 සහ 100 වන දර්ශන ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී,

  • 98 වන දර්ශනය ආචාර්ය ලයනල් එදිරිසිංහයන්ගේ ප්‍රධානත්වයෙන්ද,
  • 99 වන දර්ශනය පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන්ද,
  • 100 වන දර්ශනය මහනුවර එම්. ජී. පී. කලායාතනාධිපති වික්ටර් ගේ ශිල්පීය ඇදුරිඳු ඩබ්. සිරිල් පෙරේරා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්විණි.

ශතක පූර්ණය සමරුවේ දර්ශන වාර තුනක උත්සවශ්‍රියෙනි.

34

“ස” 300 වන දර්ශනය:

1976 ජුනි 5 සහ 6 දෙදින වැල්ලවත්ත කදිරේශන් ශාලාවේදී පැවැත්විණි.

 

 

11011121314151617181922021223456789

“ස” ප්‍රසංගය යාපනයටත්

යාපනේ වීරසිංහම් ශාලාවේදී 1976 ජූලි 3දා එවකට යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ව සිටි මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ සහ සුනිල් ආරියරත්න යන මහත්වරුන්ගේ සංවිධායකත්වයෙන් "ස" 301 සහ 302 ප්‍රසංගයන් පැවැත්විණි.

ඒ පිළිබඳව “යාපනයට සංස්කෘතික දූතයකු සපැමිණි වගයි” යනුවෙන් මහාචාර්ය
සුචරිත ගම්ලත් ශූරීන් විසින් ලියූ අතිශය රමණීය සටහන මෙසේ වෙයි.

“සිංහල හා දෙමළ රසික රසිකාවෝ සිව් දෙසින් ගලා විත් වීරසිංහම් ශාලාවේ දොරටු අබියස රැස් කන්ට වන් හ. පිරිමි අගනා සළු පිළියෙන් සැරසී උන්හ. ද්‍රවිඩ ළඳුන් අපූරු ශ්‍රී විභූතියක් රැගෙන වුත් ශාලා දොරටු අබියස තැවැරූ කලෙක වැනි විය. ළඳුන්ගේ රන්වන් සිරුරු වැලඳගත් දුහුල් පටසළු මද සුළගේ ලෙළ දෙයි. ඡවි වර්ණයද කාන්ති කඩා හැලෙයි. නිතඹ තෙක් එල්බෙන කලඹ සැරසූ සමන් මල් දම් වලින් ගලා එන සුවඳ ද නන් විලවුන් වල සුවඳ ද නැහැ සිදුරු වලින් ඇතුළුවී හදවත සිප ගනී. කිකිණි වැල් පලන් රන්වන් දෙපතුල් බමර වැල වටකළ තඹරන් සිරි ගනී.

“ගත වූයේ මොහොතකි, සියල්ලන්ම ශාලා ගර්භයෙහි සන්සුන්ව අසුන් ගෙන ය. ඉඳිකටුවක් වැටෙන හඬ පවා ඇසෙන දැඩි නිසල බවක් රජයයි. අමුත්තෝ කිහිප දෙනෙක් සුබ මංගල පහනක් දැල්වූහ. සෙමෙන් එළි නිවී යයි. රංග පීඨයේ කඩතුරා හැරෙයි. මනාව තැන්පත් කළ සංගීත භාණ්ඩ ය. ඒවා වැලඳගෙන අසුන්ගත් සංගීතඥයෝ ය. නා නා මල් ලියකමින් සැදුණු බතික් වස්ත්‍රයක් අතුළ අසුනක් රඟබිම මැද පනවා ඇත. මන්ද කශාය වර්ණ සළුපිළි හැඳි වික්ටර් රත්නායකයන්ගේ මනස්කාන්ත රූපකාය රංග භුමි මස්තකයෙහි ප්‍රාදූර්භූතවී එකී අසුන කරා උපවිෂ්ට වත්ම ශාලාව දෙදරා යන තරම් අත්පොළසන් නාදයක් නැඟෙයි.

“ස්තෝත්‍ර ගීතයෙන් ආරම්භ වන්නා වූ ගීත සරණිය වා ගැබට විහිදෙත්ම සියල්ලෝම මන්ත්‍ර දැහැනකින් මෝහනයට දැපනය වැටුණු කලෙක මෙන් වෙති. ජාති කුල ගෝත්‍ර භාෂාදී භේද දූරිභූතව සියලු හදවත් රහස් පෙම් දමෙකින් බැඳී එකම හදවතක් වූ මොහොතක් වැන්න.

“මීන නුවන් යුගින් බලන් මීනා” ගීතයේ පද මාලාවේ  දෙමළ පරිවර්තනය ශබ්ද විකාශනයෙන් පෙරී ගොස් අවසන්වත් ම ගීතය ගැයෙයි. එය අවසන නැඟෙන අභිනන්දන අත්පොළසන් නාදයෙන් මුළු ශාලා ගර්භයම එකනින්නාද වෙයි. සියළු හදවත් තෙරපන ගුප්ත අභිලාෂයක් වික්ටර් රත්නායක අනාවරණය කළාක් සේ ය. සිංහල රසිකයෝත් ද්‍රවිඩ රසිකයෝත් එදින එකම ආධ්‍යාත්මික බැම්මකින් බැදුණාහුය.

“ස” පස් වස් පූර්ණය

පස් වසරක විප්ලවීය ස්වර රටාව, "ස" පස් වස් සැමරුම, එවකට ගරු අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී  1978 ජූලි 20/21 දෙදින පැවැත්විණි.

123

“ස” ප්‍රසංගයේ අමරණීය මතක සටහන්

  • “ස” 400 ප්‍රසංගය: 1977 මාර්තු 30-31 දෙදින ලයනල් වෙන්ඩ්ට් රගහලේදී
  • “ස” 500 ප්‍රසංගය: 1978 පෙබරවාරි 18 වැනිදා (වික්ටර් රත්නායකයන්ගේ 36 වැනි උපන්දිනය දා)  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී
  • ප්‍රථම විදෙස් සංචාරය - 1978දී මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල
  • “ස” 600 ප්‍රසංගය 1979 මාර්තු 17 දා මීගමු පුරහලේදී
  • “ස” 800 ප්‍රසංගය 1980 ඔක්තෝබර් 11දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී
  • “ස” 900 ප්‍රසංගය 1982 දී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී
  • “ස” 999 ප්‍රසංගය 1983 දී ඩුබායි හිදී
  • “ස” ප්‍රසංගය පළමු යුරෝපීය සංචාරය 1980 ජූනි 06දින එක්සත් රාජධානියේදී
  • 1991-92 “ස” ප්‍රසංගය මැදපෙරදිග චාරිකාව
  • “ස” 1199 සහ 1200 ප්‍රසංග 2000 ජුලි මස 19 සහ 20 යන දෙදින තුළ මරදාන සරසවිපාය එල්ෆින්ස්ටන් රගහලේදී
  • 1300 ප්‍රසංගය 2003 අගෝස්තු මස 9වැනි දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් වේදිකා ගත විය. එදින "මාරුතයේ මියුරුසර" නමින් වික්ටර් රත්නායක චරිතාපදාන ග්‍රන්ථයද ජනගත විය.
  • අවසාන ඕස්ට්‍රේලියානු සංචාරය - “ස” වික්ටර් ඔබ හා මම නමින් අවසන් ප්‍රසංගය 2011 ජනවාරි 30 වැනිදා මෙල්බර්න් නුවර ආර්ට් සෙන්ටර්, රාජ්‍ය නෘත්‍ය ශාලාවේදී (Art centre , State Theatre) පැවැත්විණි.
15

“ස” දහස්ගව්ව

“ස” දහස් ගව්ව (1000) ප්‍රසංගය 1984 සැප්තැම්බර් 22දා ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

12345

“ස” සමාප්තිය

 

පුරා වසර 49ක් තිස්සේ නොඑසේ නම් එකුන් අඩසියවසක් මුළුල්ලේ මුළු රට පුරා ගම් නියම් ගම් සැරි සරා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාත්, කොළඹ සිට මඩකළපුව දක්වාත් සිව් දිසාවෙන් නොනැවතී සකල අට දිසා පුරාද සංචාරය කළ මියුරු සංගීත ප්‍රසංගය ලංකාවේ ප්‍රධාන නගරවල දහ දොළොස් වතාවකට වඩා වේදිකා ගත කොට තිබුණි. 1978 දී මැලේසියාවෙන් පටන්ගෙන 1979 සිංගප්පූරුව, එතැනින් එහාට එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, රෝමය, කුවේට්, ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, ජර්මනිය, බහරේන් රාජ්‍යය, නවසීලන්තය, ලෙබනනය ආදී රටවල වර්ෂ 2012 දක්වා සංචාරය කරමින් සිය අනභිභවනීය සංගීත ප්‍රසංගය, 1973 දී ආරම්භ කළ තැනින්ම නිමාව දැක්මට වික්ටර් සැලසුම් කළේ ය. වික්ටර් රත්නායක සිය සුමියුරු සංගීත සජ්ඣායනය මෙරට රාජ්‍ය නායකයන් සියලු දෙනා අභිමුඛව ඉදිරිපත් කිරීමට සමත් විය. ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සිටි රාජ්‍ය නායකයන් සියළු දෙනා වන ජේ.ආර්.ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩි.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ යන නායක නායිකාවන් අභියස තම ප්‍රසංගය ඉදිරිපත් කළ වික්ටර් රත්නායක, සිය සමුගැනීමේ ප්‍රසංගය දින 3කට යොදාගෙන සමාප්ති උළෙලක් හැටියට නිමාව සටහන් කළේ රසික දෙනෙත් කඳුළින් තෙත් කරමින් ය.

ඒ දින තුන මෙසේ සටහන් වෙයි:

වර්ෂ 2012 ජුලි 18 දින සවස 6.30ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රංග ශාලාවේදී ද,

වර්ෂ 2012 ජුලි 19 දා සවස 6.30ට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණසේවා රඟහලේදී ද,

ජුලි 20දා සවස 6.30ට වසර 49 කට පෙර ප්‍රථම ප්‍රසංගය ජන මස්ත්‍රකප්‍රාප්ත වූ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේදීම මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් සමාප්තිය සටහන් කරනු ලැබී ය.

1973 ජූලි 20 දින හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලෙන් ඇරඹූ "ස" ප්‍රසංගය දේශ දේශාන්තර වශයෙන් රට රාජ්‍යයන්හි අති සාර්ථක ලෙස පැවති අතර ඒක පුද්ගල ප්‍රසංගයක් සඳහා මෙතෙක් වැඩිම වාද්‍ය ශිල්පීන් සහභාගී කොට ගත්තේත් "ස" ප්‍රසංගය සඳහා ය.

ඔහු මේ ඓතිහාසික සමාප්තිය සටහන් කරනු ලැබුවේ බොහෝ කාලයක් සිතා බලා සමීප ඇසුරේ සිටි සහෘදයන්ට කරුණු පහදා දීමෙන් අනතුරුවය. අනියත දහම පිළිබඳව කිසියම් සන්නිවේදනයක් කරමින් අතහැරිය යුතු තැන අතහැර දැමීමේ සනාතන දහම රසික ජනතාවට වික්ටර් ඒ ආකාරයෙන් අවබෝධ කොට දුන්නේය.

සමාප්ති සටහන වෙනුවෙන් මුද්‍රණය වූ සමරු කළඹේ වික්ටර් තැබූ සටහන පහතින් වේ. 

“ගායන ශිල්පියකු තමාගේ අක්ෂර උච්චාරණය, ශ්‍රැති මත පිහිටා ගැයීම, භාව ප්‍රකාශනය යන මේවා දුර්වලවීමට පළමු ගායන දිවියෙන් හෙතෙම සමුගත යුතු ය. මා මෙසේ කියන්නේ ශිල්පියකු රසිකයන්ගේ අනුකම්පාවට ලක්නොවිය යුතු බැවින් ය. ගායනවේදියා බහුමානයෙන් පිදුම් ලබන, ගෞරවාන්විත අයකු බව රසිකයන් අතරේ සදාතනික සත්‍යයක් බවට තම ශිල්පයෙන් දක්ෂතා කුසලතා පෙන්විය යුතුය. සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යය යන බුදු වදනේ යථාර්ථය අනුව හැකිදාට නොහැකි දේකුත් නැත, නොහැකිදාට හැකි දේකුත් නැත".

වික්ටර් "ස" ප්‍රසංගය පිළිබඳව මෙළෙසින් අතීතාවර්ජනයේ යෙදේ.

ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග, සුනිල් ආරියරත්න, ආර්. ආර්. සමරකෝන්, චින්තන ජයසේන, හරිශ්චන්ද්‍ර වීරසිංහ, හර්බට් ගුණවර්ධන යන මිතුරු කැළ සමඟ එකල සන්ධ්‍යා භාගය ගතකරන්නේ සතුට සොම්නස බෙදාගනිමින් පොඩි මධුවිතක රස ද ලබමින් ය.  මේ සුහද හමුවීම්වල බොහෝ විට අවසන් නිගමනය වූයේ මවිසින් ඒක පුද්ගල ප්‍රසංගයක් ආරම්භ කළ යුතු බවයි. ප්‍රසංගය සඳහා එකිනෙකට වෙනස් වූ නාමාවලියක් හැදෙමින් මැකෙමින් තිබූ අතර සප්ත ස්වරයේ කිනම් ස්වරයක් මත වුවද "ස" ස්වරය එනම් ශ්‍රැතිය පිහිටවිය හැකි බව මා ප්‍රකාශ කළා මතකය. එය ඇසූ සැණින් චින්තන ජයසේන "එසේනම් අපි මේ ප්‍රසංගය 'ස' නමින් හඳුන්වමු" යැයි අවධාරණය කිරීමත් සමඟම "ස" යන නාමය ස්ථිර විය.

1973 ජූලි 20 වනදා සවස 6.30ට ලුම්බිණි රඟහලේ දොරවල් කැඩෙනවාත්, වීදුරු බිඳෙනවාත් අසා සිටි මට ප්‍රසංගයක් ඉදිරිපත් කරනවා තබා මෙතැනින් පළායම් දැයි සිතුණු වාර අනන්තය. පිරිස නිහඬ කොටගත්තේ පසුවදාත් ලුම්බිණියේ මෙවැනිම ප්‍රසංගයක් කරනවා යන පොරොන්දුව රසිකයාට දීමෙන් අනතුරුවය. ශබ්දවාහිනී, විදුලි ආලෝක ශිල්පීන්, වාදක මඬුල්ල, සමූහ ගායන වෘන්දය සහ නිවේදකයන් එකම බස් රථයක නැගී රට පුරා සැරි සැරූ බව මතක් වන විට අතීත මතක සුවඳ සිහිනයක් මෙන් මැවී පෙනේ. එම ගමන් බිමන් වලදී සිදු වුනු හාස්‍යමය වූත් විනෝදජනක වූත් සිදුවීම් එමටය. ඒවා මතු දිනෙක ග්‍රන්ථාරූඨ කොට එළිදැක්වීමට බලාපොරොත්තුවන බැවින් අතීත මතක මෙතෙකින් නිමා කරමි.

12345678

“ස” ප්‍රසංගය වෙනුවෙන් දායක වූ පිරිස්

 

'ස' ප්‍රසංගය වෙනුවෙන් ගීත සංගීතවත් කළ සංගීතඥයන්

ආර්. ඒ. චන්ද්‍රසේන, සෝමදාස ඇල්විටිගල, ඩී. ආර්. පීරිස්, අචාර්ය ලයනල් අල්ගම, සෝමපාල රත්නායක, පී. එල්. ඒ. සෝමපාල, මර්වින් පෙරේරා, පුණ්‍යසිරි මහවත්ත, ස්ටැන්ලි පීරිස් යන සංගීතවේදීන්

'ස' ප්‍රසංගය සඳහා දායක වූ ගේය පද රචකයන්

කලාසූරී අරිසෙන් අහුබුදු, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග, මඩවල එස්. රත්නායක, මහගම සේකර, කරුණාරත්න අබේසේකර, දයානන්ද ගුණවර්ධන, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ, මීගොඩ විල්සන්, සේන වීරසේකර, ඩබ්. ඒ. අබේසිංහ, ඩබ්. එම්. ටී බණ්ඩාර, හේම ශ්‍රී  ද අල්විස්, කුලරත්න ආරියවංශ, සිරිල් ඒ. සීලවිමල, කෝ. වෙ. පඤ්ඤාපාල, ආචාර්ය අජන්තා රණසිංහ සහ බුද්ධදාස ගලප්පත්ති

“ ස ” ප්‍රසංගය සඳහා අත්වැල් ගායනයෙන් දායක වූවෝ

ආචාර්ය රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, එඩ්වඩ් ජයකොඩි, බන්ධුල විජේවීර, නෙරංජලා සරෝජිනි, නිර්මලා රණතුංග, මාලනී බුලත්සිංහල, යමුණා විනෝදිනී, ඉන්දීවරී ආරියසිංහ, චන්ද්‍රාකාන්ති නාගසේන, කේ. ඩබ්. ලීලාරත්න, ඇනස්ලි නානායක්කාර, සමන් රණවීර

“ස" ප්‍රසංගය සඳහා එදා මෙදා තුර වාද්‍ය වෘන්දයට දායක වූවෝ

වයලීනයෙන්

එම්. කේ. රොක්සාමි, මර්වින් පෙරේරා, එඩ්ගා පෙරේරා, ඩී. ඩී. ගුණසේන, අමරසිරි පීරිස්, තිස්සසිරි පෙරේරා, කලණි පෙරේරා, සුසිල් අමරසිංහ, සුනිල් වීරසිංහ, සුසිල් පියදාස, ආනන්ද දාබරේ, සනත් සතිශ්චන්ද්‍ර, ආනන්ද පෙරේරා

චෙලෝ

සෝමපාල රත්නායක, රංජිත් මදුරප්පෙරුම, බර්ටි රණසිංහ

ඕබෝ

එම්. එම්. නූර්, ජී. සුගත්සිරි

සිතාර්

වයි. එම්. සුමනසිරි, පියදාස අතුකෝරාල, රෝහණ වීරසිංහ, කරුණාරත්න සිල්වා, ප්‍රියානන්ද පෙරේරා, සිදත් සෝමසුන්දර, නිහාල් පෙරේරා

තාල තරංග

විජේරත්න රණතුංග, සෝමසිරි බද්දේගම, හේමපාල ගාල්ලගේ, ධනංජය සෝමසිරි, නිහාල් කළුබෝවිල, බන්ධුල සිල්වා, අසෝක පෙරේරා, ගයානාත් දහනායක, විමල් ජේ. ශ්‍රියාරත්න, සරත් රාජපක්ෂ, සුසිල් පෙරේරා, රංජිත් සිල්වා, ලෙලුම් රත්නායක

ඩබල් බේස්

නේසන් මානික්කවාසගර්

බටනලා

එම්. ඩබ්. පීරිස්, එච්. එම්. ජයවර්ධන, ජානක බෝගොඩ, උපතිස්ස පෙරේරා,ප්‍රියන්ත දිසානායක, එච්. පී. කරුණාරත්න

සර්පිනා

ඒලියන් ද සොයිසා

ගිටාර්

උපේන්ද්‍ර ප්‍රනාන්දු, ඩයමන් පෙරේරා, ආනන්ද පෙරේරා, අසෝක පෙරේරා, මහේන්ද්‍ර පැස්කුවෙල්, නාලක අංජන කුමාර, සංගීත් වික්‍රමසිංහ, තිලක් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද, බුද්ධික සම්පත්, නදීක ජයවර්ධන, සරත් ප්‍රනාන්දු, අර්නස්ට් සොයිසා, රොහාන් ෆොන්සේකා

ග්ලොකන්ස්පියල්

සේන වීරසේකර

සැක්සෆෝන්

එම්. කේ. රොක්සාමි, ස්ටැන්ලි පීරිස්

සරපුවරුව (කීබෝඩ්)

ජයන්ත රත්නායක

“ස" විදෙස් ප්‍රසංගයන්හි දී වාදනයෙන් දායකවූවෝ

කැමරන් කොළඹගේ, තුසිත කුලසේකර, නාලක වීරකෝන්, රවි කුලතිලක, පද්මසිරි පැස්කුවෙල්, කණිෂ්ක කරුණාරත්න, ඩිලිනි ප්‍රනාන්දු, වීණා කෑඳරගම, රවී කුමාරසිංහ

වේදිකා පූරකවරු

බණ්ඩාර කේ. විජේතුංග, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, කුලරත්න ආරියවංශ, ගුණවර්ධන හෙට්ටිආරච්චි, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, කුසුම් පීරිස්, පාලිත පෙරේරා, වසන්ත රෝහණ

ආලෝකකරණයෙන්

මහින්ද ඩයස්, උපාලි වීරසිංහ, ඒ. හේමපාල, එම්. එස්. කරුණාදාස, ලක්ෂ්මන් පෙරේරා

ශබ්ද පරිපාලනයෙන්

සුනිල් රේඩියෝ වැලිකඩ, නෝමන් පෙරේරා සහ ජයතිලක - ඒරියල් සවුන්ඩ්, ජස්ටින් සෙනෙවිරත්න - බේස්ලයින් ඉලෙක්ට්‍රොනික්ස්, ජගත් ගුණසේකර - ආලෝකා සවුන්ඩ්ස්, කසුන් ප්‍රියන්ත - කසුන් සවුන්ඩ්ස්, ජෙහාන් හෂේන්ද්‍ර, සුනන්ද මෙත්තසිංහ

ප්‍රසංග සංවිධානයේදී සම්මානනීය දායකත්වයන් ලබාදුන් පිරිස

සතිස්චන්ද්‍ර එදිරිසිංහ, කරුණාජීව ගනේගොඩ, විමලජීව ගනේගොඩ, ආනන්ද ගනේගොඩ, රත්නජීව ගනේගොඩ, මහාචාර්ය සුනිල් ආරියරත්න, උපසේන ගුණවර්ධන, තිලක් ගොඩමාන්න, විජිත බස්නායක, ආනන්ද බස්නායක, බෙනට් පෙරේරා, හර්බට් ගුණවර්ධන, හරිශ්චන්ද්‍ර වීරසිංහ, ආර්. ආර්. සමරකෝන්, වින්තන ජයසේන, කමල් පෙරේරා, ආනන්ද සිල්වා, නලීන් මුණසිංහ, සරත් සේනාරත්න, හර්බට් රංජිත් පීරිස්, දයා විජේසේකර, චන්ද්‍රා කොඩිසිංහ, ප්‍රේම් දිසානායක, ධර්මසිරි ගමගේ, වයි. ඇම්. කරුණාතිලක, කේ. ඒ. කරුණාදාස, රාජා සෙනෙවිරත්න, ලයනල් පෙරේරා, සෝමපාල හේවාකපුගේ, පී. යූ. ඩී. පෙරේරා, අබේවර්ධන බාලසූරිය, ගීතනාත් කුඩලිගම, අනුර හේමචන්ද්‍ර, සරත් තිලකරත්න, බණ්ඩාර ඇහැළියගොඩ, බන්ධුල නානායක්කාරවසම්, සිසිර දිසානායක, සිසිර ජයමහ, ධර්මසේන දෙයාලගේ, ගාමිණී පෙරේරා, චිරාජිත් එදිරිසිංහ, සමන් රණවීර, සිසිර විජේතුංග, අනිල් කුමාර මීගහගේ, මහින්ද අබේසේකර, එඩ්වඩ් පීටර්සන්, රෝහිත ජයතිස්ස, අයි. පී. ජයතිස්ස, නන්දදාස රාජපක්ෂ (DSI සභාපතිතුමා) සහ ඒ. ජී. රත්නපාල සමරවීර (මැලිබන් සභාපතිතුමා)

“ස” නොනැවතී 80වන දශකයට

123

“ස” සහෘදාභිනන්දන

110111213141516171823456789

“ස” ස්වරාභිශේකය

11023456789

“ස” සමරු කළාප

111132345679

“ස” මතක සටහන්

1213141517181920first-paper-add

“ස” ප්‍රසංග ගොනුව

ස සමාප්තිය නැරබීමට

ස ප්‍රසංගයට සවන්දීමට

SA Overview