SARASA Concert SA Concert

චරිතාපදානය

කන්ද උඩරට ශ්‍රී දන්තධාතූන් වහන්සේ වැඩ වෙසෙන දළදා මාළිගාවේ කැණිමඬල පිස හමා එන සිහිලැල් මන්ද මාරුතයෙන් ගතසිත නිවා සනහන මහනුවර පුරවරයේදී 1942 පෙබරවාරි 18 වන බදාදා දින ඔහු උපත ලැබුවේය.

එකල රජයේ ඖෂධ සංයෝජකයෙකු වූ ඔහුගේ පියා පදිංචිව සිටියේ කඩුගන්නාවේ කඳන්ගම පිහිටි කුඩා නිවෙසකය. ඔහු රත්නායක ආරච්චිලාගේ දොන් ජේමිස් නම් විය. මව අබේකෝන් මායාදුන්නේලාගේ සුමනාවතීය. දස දෙනෙකුගෙන් යුත් පවුලක තෙවැනි දරුවා ලෙසිනි වික්ටර් උපත ලැබූයේ.

වික්ටර්ගේ පවුලේ සංගීතය පැත්තට යොමුවූයේ වික්ටර්ට පසු ඉපැදුණු හතරවැනි දරුවා වූ සෝමපාල රත්නායක පමණි. ඔහු අද මෙරට සිටින ප්‍රවීණතම චිත්‍රපට හා ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙකි. එමෙන්ම මියුරු තනු නිර්මාපකයෙකි.

එදා කඩුගන්නාව නගරසභා පිටියේ වරින් වර ඉදිකරන ලද චිත්‍රපට පෙන්වූ කූඩාරම් වලින් පිටතට ඇසෙන හින්දි හා ද්‍රවිඩ චිත්‍රපට ගීත ශ්‍රවණය කිරීමට වික්ටර් වැඩි මනාපයක් දැක්වීය. ඉරිදා දින පොළ පැවැත්වෙන්නේද මෙම බිමේමය. මව සමග පොළට යාමට කුඩා වික්ටර් මහත් අභිරුචියක් දැක්වුයේ ජපන් මැන්ඩලීනයක් වයමින් ගීත ගයන්නෝද ඩොල්කියක් වයමින් ගීත ගයන්නෝද තැන තැන වූ බැවිණි. ඔහු නැවත පොලෙන් ආපසු ගෙදර එන්නේද සිය මවගේ පෙරැත්තය නිසාමය. පොලෙන් රැඟෙන ආ බඩුමල්ල පසෙක තැබූ සැණෙකින්ම වික්ටර් කරන්නේ එදා දවසේ ඇසුණු, පොළේ “සංගීතකාරයන්” ගැයූ ගීත ටින් එකකට හෝ තට්ටු කරමින් ගායනා කරන්නට උත්සාහ දැරීමය. උපතින්ම ගායන හැකියාවක් ලබා ගෙන පැමිණි වික්ටර්ට මේ කටයුත්තේදී “තාල වාදනය” පැත්තෙන් දායකත්වය දෙන්නේ ඔහුගේ අයියා, විල්ෆ්‍රඩ්ය.

ළමා කාලය

Mother, Father and Sister
අම්මා, තාත්තා සහ සහෝදරිය අම්මා, තාත්තා සහ සහෝදරිය
Victor with his brothers (Wilfred and Somapala)
වික්ටර් සිය සොයුරන් සමඟ - විල්ෆ්‍රඩ් (මැද) සහ සෝමපාල (වමේ) වික්ටර් සිය සොයුරන් සමඟ - විල්ෆ්‍රඩ් (මැද) සහ සෝමපාල (වමේ)

පළමු සංගීත ගුරුතුමා

First Place Prize Winner
සමස්ත ලංකා ඒකල ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය ලද වික්ටර් (1958) සමස්ත ලංකා ඒකල ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය ලද වික්ටර් (1958)
Music Teacher
M G P කලායතනාධිපති සිරිල් පෙරේරා ගුරුතුමාණන් M G P කලායතනාධිපති සිරිල් පෙරේරා ගුරුතුමාණන්
National Postal ID
තැපැල් හැඳුනුම්පතේ ඡායාරූපය තැපැල් හැඳුනුම්පතේ ඡායාරූපය
First Teaching Appointment
ගුරුපත්වීම ලද අලුත ගුරුපත්වීම ලද අලුත


වික්ටර්ගේ පළමු සංගීත ගුරුතුමා වූයේ ඩි.ඒ.ඩි. ධර්මදාස මහතාය. ඔහු කඩුගන්නාව දුම්රිය පොලේ සංඥා වැද්දුම්කරුවකු හැටියට සේවය කළ අතර, වික්ටර්ගේ පියාගේ හිතවතෙකුද විය. වෘත්තීය සංගීතකරුවකු නොවුණද ගී ගයමින් සර්පිනාව වාදනය කිරීමට හපනෙකි. වික්ටර්ට සිය පියාගෙන් “ෆුට් බෙලෝ” සර්පිනාවක් තෑගි ලැබුණේද ධර්මදාස මහතාගේ යෝජනාවක් අනුවය.

වික්ටර් අධ්‍යාපනය ලැබීමට ඇතුළු වූයේ කඩුගන්නාව කනිෂ්ඨ විද්‍යාලයටය. ද්විතියික  අධ්‍යාපනයට යොමු වූයේද කඩුගන්නාව මහා විද්‍යාලයටය. එවකට එහි සංගීත ගුරුවරයා වූ කේ. එම්. සුගතපාල මහතාගේ මඟ පෙන්වීම යටතේ සමස්ථලංකා අන්තර් පාඨශාලීය සංගීත තරගයේ ඒකල ගායනය අංශයෙන් ඉදිරිපත් වූ වික්ටර්, 1958 සහ 1959 යන වසර දෙකෙහිදීම පළමුවැනියා විය.

ගීතයක් ගායනා කළ පමණින් හෝ සර්පිනාවක් වැයීමට හැකියාව තිබූ පමණින් සංගීතය පිළිබද හසළ බවක් නොලැබෙන බව තේරුම්ගත් වික්ටර්ගේ පියා, එවකට මහනුවර මුල්ගම්පල පිහිටා තිබූ ප්‍රකට සංගීත ආයතනයක් වූ එම්.ජී පී කලායතනයට වික්ටර්ව ඇතුළු කළේය. මෙතැන් සිට ඒ සිදුවීම පිළිබදව වික්ටර්ගේ වචනයෙන්ම කිවහොත්,

“සර්පිනාව  එවකට විභාග සඳහා ප්‍රගුණ කළ හැකි භාණ්ඩයක් නොවන බව එම්.ජී.පී. කලායතනයේ අධිපති සිරිල් පෙරේරා මැතිඳුන් පැහැදිලි කොට දුන්නේය. එතුමාගේ උපදෙස් මත මට තාත්තා විසින් වයලීනයක් රැඟෙන එන ලදී. මගේ දයාබර ගුරුදේවයන් වන සිරිල් පෙරේරා මැතිඳුන් ළඟ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ දැනුම වැඩුමට අත්පොත් තැබූ බව සඳහන් කරන්නේ හදපිරි ගෞරව පුරස්සර භක්තියකින්ය. සෙනෙහසකින්ය.”

“සිරිල් පෙරේරා ඇදුරුතුමන් සෙවණේ ශිල්ප ලබන්නට ගියදා පටන් ස්වර ඥානයකින් තොරව, කනින් අසා කළ ගීත ගායනය,සර්පිනා වාදනය යන මේවා පසෙකට දැමීමට මට සිදුවිය. ඒ වෙනුවට ගායනයට අවශ්‍ය ආකාරයට ස්වරාක්ෂර හා අකාරාදී ස්වර සාධනද, වයලීන වාදනයට සරිලන පරිදි හස්ත සාධන හා සරගම් යන මේ ශාස්ත්‍රීයමය වූ සම්ප්‍රදායික අභ්‍යාසද හදාරන්නට මට සිදුවිය. ඇත්තෙන්ම මෙම අභ්‍යාස වල නිරත වුවාට පසු මීට පෙර ගිරවෙකු හෝ මයිනෙකු මෙන් ඇසෙන දෑ ගායනය කරමින් හා වාදනය කරමින් මවාගත් ආඩම්බරයක් තිබුනා නම් එය හිරු දුටු පිණි බිඳක් බවට පත් වුයේය.

මේ මොහොතේදී මගේ මතකයට එන දයාබර ගුරු පියාණන්ගේ එක් සද්ක්‍රියාවක් පමණක් හෝ මෙහිලා සඳහන් නොකළහොත් මා මූසිලයෙකැ’යි මට සිතේ. එනම් මා එම්.ජී.පී කලායතනයට බැඳී හයමසකට පසු මගෙන් විද්‍යාල ගාස්තු අයකිරීම නවතා මා ශිෂ්‍යත්වලාභියකු බවට පත් කරනු ලැබීමයි.”

“දුක් කම්කටොළු,  අගහිඟකම් සතුට, සොම්නස, චමත්කාරය යන මේ සියලු සංවේදී වින්දන අඩු වැඩි වශයෙන් ලබමින් විඳිමින් මගේ ජීවනගමනේ තවත් සුවිශේෂී මතකයක සන්ධිස්ථානයක් සිහිපත් වෙයි. ඒ මගේ ශිල්පීය ගමන්මඟ ස්ථිරසාර මගකට යොමු කිරීමේ පුරෝගාමියා වූ සංගීතවේදී ආර්.ඒ.චන්ද්‍රසේනයන් මුණගැසීමයි.

“එම ස්ථානය මහනුවර ලේක් සමාජ ශාලාවයි. ආධුනික ගායකයන් බඳවා ගන්නා පරීක්ෂණයකි. සංගීත අධ්‍යක්ෂ ආර්.ඒ.චන්ද්‍රසේන සර්පිනාවද, එම්.කේ. රොක්සාමි නම් මහා පුරුෂයා වයලීනයද, ඒ.ජේ.කරීම් ක්ලැරිනටයද, තාල වාද්‍ය ශිල්පී විමල් ජේ ශ්‍රියාරත්න ඩොල්කියද වාදනය කරමින් මෙම පරීක්ෂණය අධීක්ෂණය කළහ. මගේ නම අඬගැසුනේ ආධුනිකයින් තිදෙනෙකුට පමණ පසුව විය හැකිය. කෙසේවෙතත් මා එම සිව්‍ මහා වාද්‍ය වෘන්දය සමීපයට ගියාද යැවුනාද යනවග අදත් ආවර්ජනය කරගත නොහැකිය. චන්ද්‍රසේනයන් ඔබ ගයන ගීතය කුමක්දැයි ඇසූ බවත්, මා මේරි කහානී නම් හින්දි ගීතය ගයනවායැයි කී බව පමණක් මතක් කළ හැකිය.”

“මගේ ශිල්පීය ජීවිතයේ බෞතීස්මය ලැබුවේ එදා යැයි මට සිතේ”

ඒ පෙරළිකාර සිදුවීම සමගම වික්ටර් රත්නායකයන්ගේ සංගීත චාරිකාව, අපූර්ව සිදුවීම් ගහන අවධියකට සම්ප්‍රාප්ත වූ බව පෙනී යයි.

එකල අද මෙන් විද්‍යුත් නාලිකා රැසක් නොතිබුණු අතර ජනතාවට ශ්‍රවණය කිරීමට තිබුණු එකම නාලිකාව වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය පමණි. 60 දශකය ආරම්භ වීමත් සමගම ශ්‍රීලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් බොහෝ සංගීතමය තරග වැඩසටහන් අනුග්‍රාහක භවතුන්ගේ දායකත්වයෙන් ප්‍රචාරය විය. “එයා ෂිප් සංගීත තරගය”ට  අයදුම්පතක් යොමුකළ වික්ටර්, ඒ සඳහා කැඳවීමක් ලැබුණු දින වෙනත් කටයුත්තක් යොදාගෙන තිබූ බැවින් වික්ටර්ගේ ගමේ අසල්වැසියකු වූ උදයරත්න බ්‍රාහ්මණනායක සමග ගුවන්විදුලියට ගොඩවුනේ ඒ දිනය වෙනස්කිරීමට පිළිවන්දැයි දැනගැනීමටය. එකල පුවත්පත් වලට ලිපි ලියූ, ප්‍රාදේශීය සංගීත ප්‍රසංග නිවේදන කටයුතු කළ උදයරත්න ඒවනවිටත් ගුවන්විදුලියට අමුත්තකු නොවීය. හදිසියේ දින වෙනස් කිරීමට අපහසු බව එතැනදී දැනගන්නට ලැබුණි. එදා සිටම අභියෝගවලට මුහුණදීමට කැමැත්තක් දැක්වූ වික්ටර් එදිනම ගීතය ගැයීමට සූදානම් විය. උදයරත්න නිෂ්පාදනය කළ “සහෝදරයෝ” නම් වේදිකා නාට්‍යයට ඔහු විසින්ම විරචිත “යන්නට සිදුවෙයි මරණය ආදා- මරුවා හට නෑ කිසිවිට බාධා” නමැති ගීයයි ඒ. වික්ටර් ගුවන්විදුලියේ ගායකයකු නොවී සිටියදී තරගයට ගැයූ මේ ගීතයත් ඔහුගේම ස්වතන්ත්‍ර නිර්මාණයක් වීම විශේෂත්වයකි. එම වේදිකා නාට්‍යය සංගීතවත් කලේද මේ යොවුන්වියේ සිටි වික්ටර්මය. උදයරත්න බ්‍රාහ්මණනායක වික්ටර්ගේ ප්‍රථම ගීත රචකයා වූයේ එසේය.

වික්ටර්ගේ සංගීත දිවියේ තවත් වැදගත් සිදුවීමක් 1963 වසරේදී සිදුවිය. ඒ, වික්ටර් රජයේ සංගීත විද්‍යාලයට(හේවුඩ්) වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇතුළු වීමයි. වික්ටර් මෙන්ම  විද්‍යාලයේ ඔහුගේ සමකාලීනයින් වූ මර්වින් පෙරේරා, සරත් දසනායක, සේන වීරසේකර, සුජාතා පෙරේරා(අත්තනායක), අමරසිරි පීරිස්, පුණ්‍යසිරි මහවත්ත, අමිතා වැදිසිංහ, බර්ටි රණසිංහ(චෙලෝ බර්ටි)  ඇතුළු පිරිස ,විශාරද එස්.ඩී.එස් ජයසේකර, විශාරද ගුණසේන ද සිල්වා, විශාරද ප්‍රේමවංශ හපුවලාන, විශාරද ගුණපාල පෙරේරා, විශාරද ධර්මසිරි පෙරේරා වැනි වියත් ගුරුමඩුල්ලක ගුරුහරුකම් ලබමින් ශිල්ප හදාරන්නට වූහ. එකල කලායතනය බැබලීමට තවත් හේතුවක් විය. පණ්ඩිත් අමරදේව, මහාචාර්ය අමරා රණතුංග, විශාරද ඩී.ආර් පීරිස්, විශාරද බී. වික්ටර් පෙරේරා, සංගීත් නිපුන් ශාන්ති ගීතදේව වැනි වියත් සංගීතඥ අධ්‍යාපනඥයින් පිරිසක් එකල එහි සමකාලීන ගුරුවරුන් ලෙස සේවය කිරීම එයට හේතුවයි.

වික්ටර් ප්‍රථම වරට ගායකයකු හැටියට ගීතයක් පටිගත කලේ ප්‍රවීණ ගේයපද රචක පියසේන කොස්තා සූරීන්ගේ “මණිචෝර” නම් වූ ගුවන්විදුලි ගීත නාටකයට එතුමා විසින්ම රචිත “දෙවඟන පරදන කොමළ කතා” නම් වූ ගීතයයි. ආර්.ඒ චන්ද්‍රසේනයන් විසින් සංගීතවත් කළ එම නාටකය ගුවනින් ප්‍රචාරය වූයේ 1963 ජූලි 06 වැනිදාය. ඒ අනුව වික්ටර්ගේ ප්‍රථම ගුවන්විදුලි ගීත රචකයා වූයේ පියසේන කොස්තා සූරින්ය.

පළමු වරට පටිගත කළ ගීතය



නොනැවතී ඉදිරියට

වික්ටර්ගේ නමින් බිහිවූ ප්‍රථම ගුවන්විදුලි තැටිය වූයේ ඩෝල්ටන් අල්විස් ශූරීන් විසින් විරචිත, සංගිතඥ ඩී.ආර්.පීරිස් මහතා තනු නිර්මාණය කළ, මඩවල එස්. රත්නායකයන්ගේ “පංච මධුර” වැඩසටහන සඳහා ගැයූ “හදේ සුසුමක් පතිතවීමෙන්” නැමැති ගීතයයි.

වික්ටර් රත්නායකයන්ගේ ප්‍රථම ගුවන්විදුලි සරල ගීත රචකයා වනූයේ කලාසූරී අරිසෙන් අහුබුදු මහතාණන්ය. වික්ටර් වෘත්තීය ගායන ශිල්පියකු වූ පසු ඉදිරිපත් කළ ප්‍රථම සරල ගීත වැඩසටහනට එතුමා රචනා කොට දුන් ගීතද්වය වනූයේ “සිඳැ බිඳැ මොහඳුරු පාප” සහ “ගොළු මුහුදේ මුතු ඇටේ” යන ගීතයි. පුණ්‍යසිරි මහවත්තයන් විසින් රචනා කළ “ඈත පෙනෙනා හිමව් කඳු මත” වික්ටර් එම වැඩසටහනට ගැයූ තෙවැනි ගීයයි.

ඉන්පසු වෙළෙඳ සේවයේ ප්‍රථම සරල ගී වැඩසටහන වෙනුවෙන් හේම ශ්‍රී ද අල්විස් රචනා කළ “ඔබෙ සෙවනැල්ල වාගේ එමී”(සුජාතා අත්තනායක සමඟ), “මයුරාසන” මෙන්ම මර්වින් පෙරේරා සංගීතවේදියාණන් සංගීතවත් කළ, මීගොඩ විල්සන් පබැඳු  “සෝක සැනසුම්” හා “පාවේ වළා” යන ගීත එකල ගුවන්විදුලියෙන් නිතර ප්‍රචාරය වූ ජනප්‍රිය ගීත බවට පත් විය.

1966 වර්ෂයේදී බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයෙන් සිය ගුරු භූමිකාව ඇරඹු වික්ටර්ගේ අතින්  “සිහිල් සුළං රැල්ලේ ” ගීතය නිර්මාණය වූයේ ඒ අවධියේදී දුම්රියෙන් බණ්ඩාරවෙල යන අතරතුරදීය. එම තනුවට සේන වීරසේකරයන් මනහර පදමාලාවක් ගොනු කළ අතර එය රසික හදවත් තුළට වික්ටර්ව තව තවත් ලං කරවූ ගීතයක් විය.

වික්ටර් රත්නායකයන්ට ප්‍රථමයෙන්ම චිත්‍රපට ගීතයක් රචනා කොට දුන්නේ මහගම සේකරයන් වන අතර එහි සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කෙමදාසයන්ගේය. සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ “හන්තානේ කතාව ” චිත්‍රපටයට , නන්දා මාලනිය සමගින් ගැයූ “සරා සොඳුරු මල් පැටලී” නමැති එම ගීතය වික්ටර් ගැයූ කුළුඳුල් චිත්‍රපට ගීයයි.

1973 ජුලි 20 වික්ටර්ගේ සෞන්දර්ය චාරිකාවේ සුවිශේෂතම සන්ධිස්ථානය ලෙස සනිටුහන් වෙයි. ඒ, ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ පළමු වරට ,ප්‍රසංග වාර 1500 කට ආසන්න වාර ගණනක් වේදිකා ගතවූ ඒක පුද්ගල ප්‍රසංගය වන “ස”  ප්‍රසංගය ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වීමයි.

1973 ජුලි 20 වික්ටර්ගේ සෞන්දර්ය චාරිකාවේ සුවිශේෂතම සන්ධිස්ථානය ලෙස සනිටුහන් වෙයි. ඒ, ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ පළමු වරට ,ප්‍රසංග වාර 1500 කට ආසන්න වාර ගණනක් වේදිකා ගතවූ ඒක පුද්ගල ප්‍රසංගය වන “ස”  ප්‍රසංගය ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වීමයි.

පළමු “ස” ප්‍රසංගය

First Souvenir Cover
පළමු ස ප්‍රසංගයේ සමරු කලාපය සැරසූ ඡායාරූපය පළමු ස ප්‍රසංගයේ සමරු කලාපය සැරසූ ඡායාරූපය
First Paper Advertisement for SA Concert
පළමු ස ප්‍රසංගයේ පුවත්පත් දැන්වීම පළමු ස ප්‍රසංගයේ පුවත්පත් දැන්වීම

ආචාර්ය උපාධිය

වර්ෂ 2010 ජුනි 18 වැනිදා වික්ටර් සිය සෞන්දර්ය අධ්‍යාපනය සම්පුර්ණ කළ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය (හේවුඩ්) මඟින්, වික්ටර් විසින් මෙරට ගීතයට හා සංගීතයට සිදු කරන ලද මෙහෙවර අගයමින් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී දර්ශනශුරි ආචාර්ය උපාධියෙන් පුදනු ලැබීය.
 

සංඛ්‍යාත්මකව ලඝු වුවද, ඔහු විසින් සංගීතය සැපයූ චිත්‍රපට අතර, සම්භාව්‍ය, වාණිජ හා ළමා යන මේ සියළු ක්ෂේත්‍රයන් නියෝජනය කරන  චිත්‍රපට විය. ඒ එක් එක් චිත්‍රපටය සඳහා උචිත වන අන්දමේ සංගීත භාවිතය මැනැවින් සිදුකොට ඇත. ඔහුගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය “මාතර ආච්චි” ය. ඒ 1972 දීය. කිහිප දෙනෙකුගේම ප්‍රථම සිනමා සිත්තම හැටියට කලඑළි දුටු එය ,සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය විය. වොලී නානායක්කාර ප්‍රථම වරට චිත්‍රපටයක් සඳහා ගීතයක් රචනා කලේද මාතර ආච්චි වෙනුවෙන්ය. එපමණක් නොව, විවිධ හේතුන් මත තිරගතවීම ප්‍රමාද වූ නිසා, වෙනත් චිත්‍රපට හරහා රසිකයන් ඒ වන විටත් දැක තිබූ , ස්වර්ණා මල්ලවආරච්චි නමැති ඒ මහා රංගනවේදිනිය රඟපෑ පළමු චිත්‍රපටයද එයයි. ඒ සියල්ලටමත් වඩා වැදගත් කරුණකි. අද හෙළ සංගීත කෙතේ හිනිපෙත්තේම සිටින සුනිල් එදිරිසිංහයන්ගේ ආගමනය සිදුවූයේ මාතර ආච්චි චිත්‍රපටයේ එන  “සඳකඩ පහනක කැටයම් ඔපලා” නමැති අන්තර් සංගීත සංයෝජනවලින් පිරිපුන් ඒ රමණීය ගීය හරහාය. ඒ වන විට එකඳු ගීයක්වත් පටිගත කර නොතිබුණු සුනිල් එදිරිසිංහ නැමැති ආධුනික ශිල්පියා එක් රැයකින් ශ්‍රාවක සිත් සතන් තුළ කිඳාබැස්වීමට තරම් ඒ ගීය මධුරතර විය.

චිත්‍රපටයේ එන සුජාතා අත්තනායක හා වික්ටර් ගැයූ යුග ගීතය වන “සඳුන් සිහින -සිහිල් අඳුන පාළු ප්‍රේම නගරයේ” මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත ප්‍රථම චිත්‍රපට යුග ගීතය වෙයි.

එම චිත්‍රපටය සඳහා ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචනා කරන ලද “අඳුර බිඳින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා” අද දක්වාම වික්ටර්ගේ ගීතාවලිය තුළ අතිශය ජනාදරයට පාත්‍ර වූ ගීතයකි.

චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කලේ මිල්ටන් මල්ලවාරච්චි සහ පිරිසය. චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයකු වූ සිරිකුලරත්න විරචිත “රන් දේදුණු රන් පාටින් වෙළුන රන්වලා” නැමැති එම ගීතය මිල්ටන් ගේ ගීතාවලිය තුළ තවමත් රඟදෙන ගීතයක් වෙයි.

  • 1975 දී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ “රජගෙදර පරවියෝ” චිත්‍රපටයට වික්ටර් සංගීත අධ්‍යක්ෂණය කළේය. මහාචාර්ය සුනිල් ආරියරත්න පද රචනා කළ, වික්ටර් හා ලතා වල්පොළ ගැයූ “හිනැහෙන්න රෝමියෝ මමයි” සහ කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් රචනාකළ වික්ටර් ගැයූ “නීල බිඟු කැළ” යන ගීත දෙකම අතිශය ජනප්‍රිය ගීත බවට පත්විය.

 

  • 1975 දී සුනිල් ආරියරත්නයන්ගේ පළමු කෙටි චිත්‍රපටය වූ  “දුෂ්කරක්‍රියා” සහ 1975 දීම එම්.එස්.කුමාර් අධ්‍යක්ෂණය කළ “හාරත හතර” යන චිත්‍රපට දෙකට වික්ටර් සංගීත අධ්‍යක්ෂණය කළේය.

 

  • 1976 දී ඩබ්.ඒ.බී. ද සිල්වා අධ්‍යක්ෂණය කළ “හුලවාලි” චිත්‍රපටය වික්ටර්ගේ තවත් විශිෂ්ට සංගීත අධ්‍යක්ෂණයකි. ධර්මසිරි ගමගේ, සුනිල් ආරියරත්න, කේ.ඩී.කේ. ධර්මවර්ධන ගී පද සංකල්පනා වලින් දායක වූ අතර, සුනිල් එදිරිසිංහ ගැයූ “කුඩා ගමේ මද්දහනේ” ගීතය මෙන්ම බන්දුල විජේවීරගේ ප්‍රථම චිත්‍රපට ගීතය වූ, “කුලගෙදරින් දුම්බර කඳු වැටියේ” යන ගීතයද ඒක සේ රසික සහෘදයා ඇද බැඳ තබා ගැනීමට සමත් විය.

 

  • 1977 දී නැවත සතිස්චන්ද්‍රගේම “ශ්‍රී මධාරා” චිත්‍රපටයෙන් සංගීතයට දායක වූ වික්ටර්, සුනිල් එදිරිසිංහයන්ගේ හැරවුම් ලක්ෂ්‍යයක් බඳු ගී තනුවක් නිර්මාණය කළේය. ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කළ “හිසේ ගිණි ඇවිලෙතේ” එම ගීතයයි. එහි වූ සුනිල් ආරියරත්නයන් විරචිත, ලතා වල්පොල ශිල්පිණිය සමගින් වික්ටර් ගැයූ “ගහකොළ මල්” ගීතයද ජනප්‍රිය විය.

 

  • 1978 දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වූ “අනුපමා” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය හරහා ද වික්ටර්, චිත්‍රපට සංගීතයට තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ ගීතයක් එක් කළේය.ඒ ලතා වල්පොල සහ එච්.ආර්. ජෝතිපාල දෙදෙනා ගැයූ ප්‍රථම යුග ගීතයයි. “සිහින විලේ නිලුපුලී”  නම් එම ගීතය ප්‍රවීණ ගේයපද රචක කුලරත්න ආරියවංශගේ කුළුඳුල් චිත්‍රපට ගීතයයි. එහි වූ අනෙක් ජනප්‍රියම ගීත බවට පත්වුයේ ප්‍රභාත් මානවසිංහ රචනාකළ ජෝතිපාල ගැයූ “රාජකිරුළු පළන්දාපු රජ්ජුරුවෝ” සහ තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් රචනා කොට, අබේවර්ධන බාලසුරිය ගැයූ “මරු කතරේ පිපුණු මලක්” යන ගීත යුග්මයයි.

 

  • 1979 දී මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ “සරුංගලය” චිත්‍රපටය වික්ටර්ගේ නව්‍ය සංගීත අත්හදා බැලීම් ප්‍රකට කළ සුවිශේෂී චිත්‍රපටයකි. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා විරචිත පණ්ඩිත් අමරදේවයන් සමඟ විශාරද නන්දා මාලනිය ගැයූ “බමරිදු බමරිඳු කුමට වඩින්නේ” නම් යුග ගීතයද මෙම චිත්‍රපටයේ ගීතයකි. එසේම තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් රචනා කළ, නෙරංජලා සහ අබේවර්ධන බාලසුරිය ගැයූ දකුණු ඉන්දියානු කර්ණාටක නාදමාලා අත්හදාබැලීම් සහිත ”ඉසුරු දෙවිඳු උමයංගන” නැමැති අතිශය චමත්කාරජනක යුග ගීතයද එහි වෙයි. තවිල්, මෘදංග,වීණා,නාග ස්වරම්  නාදයෙන් සංගෘහිත මෙවන් නිර්භය අත්හදාබැලීම් කිරීමට එකළ චිත්‍රපට සංගීතයට ප්‍රවිශ්ටව සිටි අනෙක් සංගීත අධ්‍යක්ෂවරුන් අඩියක් පිටුපසට ගනිද්දී ,මේ මනහර ගීතය වික්ටර් අතින් නිර්මාණය විය. තවද, යෝගා බාලචන්ද්‍රන් විසින් රචිත කලාවතී කන්දසාමි විසින් ගයනු ලැබූ ද්‍රවිඩ ගීතයක්ද මෙහි වෙයි. “සරුංගලයේ” අඩංගු රසික සිත්සතන් වලින් කිසිදා මැකී නොයන තවත් ගීතයක් වන, එම් .එස් ප්‍රනාන්දු සහ පිරිස ගයන, කුලරත්න ආරියවංශ රචනාකළ “උපන් හඳවියේ-දුකක් අහලා නැති අපේ අඩවියේ ” යන ගීතය දෙස බලන්න. මෙම චිත්‍රපටයේ එන ගීත හතරම එකිනෙකට වෙනස් රසයෙන් අනූන චිත්‍රපට ගීත බව අවධාරණයෙන් සඳහන් කළ යුතුමය.
  • අපේ අවාසනාවට චිත්‍රපට උළෙල වලදී එම චිත්‍රපටයට නිසි ඇගයීමක් කරන්නට මෙරට සම්මාන කමිටු වල විනිසුරු මඬුලු අපොහොසත් වුණේ කිමදැයි යන ප්‍රශ්නය නිතැතින්ම අප සිත් වලට නැඟේ.එවකට එම සම්මාන උළෙලවල් සඳහා පාදක කරගත් එක්තරා පුවත්පතක, වරින් වර ප්‍රධාන  කතෘ ධූරයන් දැරූ පුද්ගලයන්ගේ දුරාචාරවත් ඇවතුම් පැවතුම් නිසා වික්ටර්ගේ චිත්‍රපට සංගීතයට නියමාකාර යුක්තිය සාධාරණය ඉටු නොවුන බව සඳහන් කරන්නේ කණස්සල්ලෙනි. එවන් අසාධාරනකම් වලට ලක්වීම් තවත් අපට පෙන්වාදිය හැකි වුවද මේ එයට වේලාව නොවේ.
  • නැවත 1979 දීම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ “පොඩිමල්ලී” චිත්‍රපටයට වික්ටර් සංගීතයෙන් දායක විය. ගීත හතරක් අඩංගු වූ එම චිත්‍රපටයේ එන, කේ.ඩී.කේ. ධර්මවර්ධන ලියූ “කොහේ සිට ඔබ පැමිනියේදෝ” ගීතය රූප ගතකොට ඇත්තේ වික්ටර්ගේ අතිශය ජනප්‍රිය “ස” ප්‍රසංගයේ ගැයෙන ගීතයක් ලෙසය. චිත්‍රපටයකදී  “ස” ප්‍රසංගය අදටත් සජීවීව දෘශ්‍යමාන වන්නේ පොඩි මල්ලී චිත්‍රපටයේ පමණි.

 

  • 1980 දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේම සිරිබෝ අයියා චිත්‍රපටයටත්, (මේ චිත්‍රපටයට වික්ටර් වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.)

 

  • 1981 ජනවාරියේදී ලාල් පෙරේරා අධ්‍යක්ෂණය කළ  “තවලම” චිත්‍රපටයටත්,

 

  • 1981 මාර්තු මාසයේදී නිමල් සිල්වා අධ්‍යක්ෂණය කළ “සයුරු තෙර” චිත්‍රපටයටත්,

 

  • 1981 මැයි මාසයේදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ “වජිරා” චිත්‍රපටයටත්,

 

  • 1986 දී ආරියරත්න විතාන අධ්‍යක්ෂණය කළ අතුරු මිතුරු ළමා චිත්‍රපටයටත්, ( මෙම චිත්‍රපටය වෙනුවෙන් වික්ටර් 1987 දී වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස ජනාධිපති සම්මාන ලැබීය)

 

  • 1994 දී නිශාන්ත ද අල්විස් අධ්‍යක්ෂණය කළ අඹුසැමියෝ චිත්‍රපටයටත්,
  • වර්ෂ 2000 දී ආරියරත්න විතාන අධ්‍යක්ෂණය කළ “ඉරැස්මා” චිත්‍රපටයටත්, අවසාන වශයෙන්,

 

  • ඉදිරියේදී තිරගත වීමට නියමිත, ප්‍රගීත් රත්නායක අධ්‍යක්ෂණය කළ “ආදරෙයි මං” චිත්‍රපටයටත්, 

වික්ටර් රත්නායක සිය සංගීත නිර්මාණ දායකත්වය ලබාදී ඇත.

 

වික්ටර් රත්නායක සංගීතවත් කළ ටෙලිනාට්‍ය

  • හිම හංසි- අධ්‍යක්ෂ: ජයන්ත රණවක
  • මුතු කුමාරි- අධ්‍යක්ෂ: පී. යූ.ඩී. පෙරේරා
  • යාළුයි අපි යාළුයි-අධ්‍යක්ෂ: පී. යූ.ඩී. පෙරේරා
  • පුංචි යාළුවෝ- අධ්‍යක්ෂ: පී. යූ.ඩී. පෙරේරා
  • පහන් තරුව- අධ්‍යක්ෂ: නිශාන්ත ද අල්විස්
  • ඉරට හඬන මල්- අධ්‍යක්ෂ: චන්ද්‍රරත්න මාපිටිගම
  • මුවන්පැලැස්ස- අධ්‍යක්ෂ: පී. යූ.ඩී. පෙරේරා

 

වික්ටර් රත්නායක සංගීතවත් කළ වේදිකා නාට්‍ය

  • සහෝදරයෝ- අධ්‍යක්ෂ: උදයරත්න බ්‍රාහ්මණනායක
  • ව්‍යාග්‍ර- අධ්‍යක්ෂ: ජයන්ත රණවක
  • අත්තික්කා මල් පිපිලා- අධ්‍යක්ෂ: සතිස්චන්ද්‍ර එදිරිසිංහ

වික්ටර් රත්නායකයන්ගේ චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණ භූමිකාව

Matara Aachchi Souvenior cover photo (1972)
මාතර ආච්චි චිත්‍රපටයේ සමරු කළඹ (1972) මාතර ආච්චි චිත්‍රපටයේ සමරු කළඹ (1972)
"සඳකඩ පහනක කැටයම් ඔපලා" ගීතය බිහිවූ අයුරු
Lyrics of a song of Siribo Ayya Film
සිරිබෝ අයියා චිත්‍රපටයේ ගීතයක පදමාළාවක් සිරිබෝ අයියා චිත්‍රපටයේ ගීතයක පදමාළාවක්

 

 

 

  • හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානය
  • 1980දී තිරගත වූ සිරිබෝ අයියා චිත්‍රපටය වෙනුවෙන්
  • අධ්‍යක්ෂණය - මහාචාර්ය සුනිල් ආරියරත්න

ජාතික චිත්‍රපට සම්මාන උළෙල - 1981

ජාතික චිත්‍රපට සම්මාන උළෙල - 1987

 

 

 

 

  • හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානය
  • 1987දී තිරගත වූ අතුරු මිතුරු චිත්‍රපටය වෙනුවෙන්
  • අධ්‍යක්ෂණය - ආරියරත්න විතාන

 

 

 

  • හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සරසවි සම්මානය
  • චිත්‍රපටය - ආදරවන්තයෝ
  • ගීතය - ඈත හිමාලේ සීතල සෙවණේ
  • අධ්‍යක්ෂණය - අමරනාත් ජයතිලක

සරසවි සම්මාන උළෙල - 1969

දේශනේතෘ සම්මානය - 2009

 

 

 

 

ශ්‍රී ලංකාවේ සුභාවිත ගීත කලාවට සිදුකරන ලද අනුපමේය මෙහෙවර වෙනුවෙන් සංස්කෘතික සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය මඟින් මෙම සම්මානය ලබා දෙන ලදී.

 

 

 

 

චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සඳහා කරන ලද අනුපමේය සේවය අගයනු වස්, කලාකරුවකුට ජීවිතයේ එක්‌ වතාවක්‌ පමණක් පුදන යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්‌මරණ සම්මානය 2012 වසරේදී වික්ටර් රත්නායකයට පුදනු ලැබීය.

සුමති සම්මාන උළෙල - 2012

වයලීනයෙන් අත්පොත් තැබීමේ ගුණය

වික්ටර් ගායනයට ප්‍රවිෂ්ට වීමට පෙර දක්ෂ වයලීන වාදකයෙකි. බොහෝ හොඳ ගායකයන් මුලින්ම හොඳ වයලීන වාදකයන් බව ඔප්පු වී ඇත.

වයලීනය මිනිස් කටහඬට ඉතාම සමීපතම සංගීත භාණ්ඩයයි. එය අනෙකුත් සංගීත භාණ්ඩ මෙන් නොව, ස්වර තන්ත්‍රී වාද්‍ය භාණ්ඩයක් වන අතර, නිවැරදි ස්වරය ඇති තැන සලකුණු කර නැත. මේ නිසා වයලීන වාදකයෝ ශ්‍රවණේන්ද්‍රිය විනිශ්චය කොට නිරවද්‍ය ස්වර ස්ථානය සොයා ගැනීමට තීක්ෂණ භාවයක් දක්වති. ඔවුනට ස්වර ඥාණය අකුරටම ඇත. මේ නිසාම ගායකයින් ලෙස ප්‍රවිෂ්ඨ වීමේදී නිවැරදි ශ්‍රැති ස්ථාන වල පිහිටා ගැයීමේ ගුණය ඔවුන් සතුය. පණ්ඩිත් අමරදේවයන් වික්ටර් පිළිබඳව මෙවන් අදහසක් දක්වන්නේ එබැවින් විය යුතුය. “වික්ටර් නිවැරදි ස්වර ස්ථාන භජනය කිරීමේ හසළ බවක් දක්වයි. වික්ටර් කිසිම විටෙක අපස්වර නොගයයි. ඔහු මේ කුසලතාවයෙන් අනූන ගායකයකු බව මම ප්‍රකාශ කරමි”

පණ්ඩිත් අමරදේවයන්ද ඇතුළු ,වයලීනයෙන් සිය සංගීත දිවිය අරඹා, පසුව ගායකයන් වූ සංගීතවේදීන් දෙස බැලීමේදී අපට ඒ ප්‍රකාශයේ සත්‍යතාවය මනාව පසක් වෙයි. බී.වික්ටර් පෙරේරා ,මර්වින් පෙරේරා, අමරසිරි පීරිස්, ඩී.ඩී ගුණසේන,ටී.එම්.ජයරත්න, නිමල් ගුණසේකර යන මේ හැම දෙනාම මධුර ගායකයන්ය.

එකල ගුවන් විදුලියේ පටිගත කිරීම් වලට තහංචි රැසක් පැනවී තිබුණි. ආචීර්ණ මතධාරී පිරිසක් මෙයට මුල් වුණු බව පැවසිය යුතුය. බටහිර යැයි හංවඩු ගැසුණු කිසිම සංගීත භාණ්ඩයක් ගුවන්විදුලියේ පටිගත කිරීම් වලට රැගෙන ඒම සපුරා තහනම් විය. අමරදේවයන් සම්බන්ධ වී සිටි “මධුවන්ති” සංගීත ප්‍රණීතාංගයේ නාද මාලා දෙස විමසිලිමත්ව බැලීමේදී එම ගීත සඳහා නිර්මාණාත්මකව බටහිර සංගීත භාණ්ඩ අවශ්‍ය තරමට යොදා ගැන්මේ අවසරය තිබුණේ වීනම් ඒ ගීත තවත් කෙතරම් රමණීය ගී සරණියක් වීමට තිබුනේද යන්න ගැන සිතද්දී කිසියම් ශෝකයක් උපදී.

වික්ටර් රත්නායකයන් ගුවන්විදුලියේ පටිගත කිරීම් වෙනුවෙන් පැමිණියේ මෙවන් වටපිටාවකදීය.

අමරදේවයන් සිංහල සංගීතයට ස්වතන්ත්‍ර වේදිකාවක් සකස් කළේය. එහෙත් ඒ ගීත නාද කාව්‍යයන් හැටියට අගය කිරීමේදී කිසියම් පසුබෑමක් ඇතිවේ. එහෙත් වික්ටර් මෙහිදී ගීතයේ නිම්වළලු පුළුල් කිරීමට ඉමහත් සේ දායක විය.සිය ප්‍රථම සරළ ගීත වැඩසටහ නිෂ්පාදනය වුන කාල වකවානුව තුළ ගුවන්විදුලියේ තිබූ උක්ත නැඹුරු තාවයන්ගේ සීමා මායිම් සුණුවිසුනු කර දමමින් බටහිර සම්භාව්‍ය සංගීතයෙහි එන ස්වර සංවාදන (HARMONY),ප්‍රතිසංවාදන (COUNTER POINTS) හා සමූහ වාදන (ORCHESTRIAL MUSIC) යන සංගීත රීතීන් හා ශිල්ප ක්‍රම උපයෝගී කරගනිමින් සිය ප්‍රථම සරළ ගීත තුන(සිඳැ බිඳැ මොහඳුරු පාප ක්‍රියා, ඈත පෙනෙනා හිමව් කඳු මත, ගොළු මුහුදේ මුතු ඇටේ) නිර්මාණය කළේය.මෙය ශ්‍රීලාංකික සංගීතඥයකු විසින් එකී ශිල්ප ක්‍රම යොදාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගතවන අතර, ඒ හරහා,සිංහල සරළ ගීතය නව ආස්ථානයකට ඔසවා තැබීමට වික්ටර් සමත් විය.

හැටේ  දශකයේ මැද  භාගයේදී වික්ටර් ආරම්භ කළ මෙම සංගීතයේ නව ආර කේන්ද්‍ර කරගනිමින් “වික්ටර් රත්නායක” නැමැති සංගීත සලකුණ බිහිවිය. ඔහුගේ සංගීතය තුළ වූ මෙම නව සංගීත ආර වෙත ඇදී ආ, එවකට ශ්‍රේණිගත වූ ප්‍රවීණ හා නවක සියලුම ශිල්පි ශිල්පිනීන් වික්ටර්ගෙන් ගී තනු නිර්මාණය කරගත් බව පැවසිය යුතු ප්‍රධාන කරුණකි.

සිංහල ගීතයේ හැඩතල වෙනස් කරමින්, ගුවන්විදුලියේ එතෙක් තහනම් භාණ්ඩ හැටියට හංවඩු ගසා තිබූ DRUMS, ඕබෝ, බැසූන්,සැක්සෆෝන්, චෙලෝ, ක්ලැරිනට්, ට්‍රුම්පට්, ඩබල් බේස්, කොරැන්ගලී වැනි බටහිරට ලියා දී තිබූ සංගීත භාණ්ඩ රැසක් ගුවන්විදුලියට කැඳවාගෙන ඒමේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේ වික්ටර් රත්නායකයන්ය.

මෙසේ තහනම් සංගීත භාණ්ඩ පෙරහැරක් ගුවන්විදුලියට වැඩමවූ දිනයක පටිගත කිරීම් ශිල්පියා හැටියට කටයුතු කළේ නැසීගිය ශිල්පී ගුණදාස කපුගේය. ඒ සිදුවීම කපුගේ පවසා ඇත්තේ මෙසේය.

ඔන්න ඉතින් මාත් පස්වෙනි මැදිරියට වෙලා වික්ටර් එනකන් බලන් හිටියා. එතකොට මං එකම ගීතයක් වත් ගයා තිබුණේ නැහැ. මම පටිගතකිරීම් යන්ත්‍රය ළඟ මයික්‍රෆෝන් හතරකුත් ලෑස්ති කරගෙන බලා හිටියා. ඔන්න වික්ටර් ආවා....එකායි, දෙකායි, තුනායි, හතරායි...අන්තිමේදී වික්ටර් සමඟ පස්වෙනි මැදිරියට ඇතුළුවුනු වාද්‍යවෘන්දය විසි දෙදෙනෙක්. මට භාගෙට පිස්සු හැදුණා...එවන් ශිල්පීන් පිරිසක් සමඟ මයික්‍රොෆෝන් හතරක් තියාගෙන මම මොනවා කරන්නද? ඒ කාලේ ගුවන්විදුලියේ හිටියා රංජිත් එදිරිසිංහ කියලා ශබ්ද ඉංජිනේරුවරයෙක්. මම ඔහුගේ පිහිට පැතුවා මේ අකරතැබ්බයෙන් මා ගලවා ගන්න කියා. රංජිත් වහාම අසළ තිබූ මැදිරි වලින් තවත් මයික්‍රෆෝන් හත අටක් යොදාගෙන වෙනත් මැදිරියක තිබූ අමතර මික්සිo යන්ත්‍රයක් එයට ඈඳා විශාල පටිගත කිරීම් ශබ්දාගාරයක් නිර්මාණය කළා ඒ මොහොතේම. දන්නවද එදා පටිගත කළ සින්දුව මොකද්ද කියලා... “මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී”...ඒ තරම් චකිතයකින් ටෙන්ෂන් එකකින් මං කවදාවත් රේකොඩින් එකක් කරලා නෑ. ඒ වුනාට අපි එදා පුදුම වින්දනයක් ලැබුවා ඒ රේකොඩින් එකෙන්.....”

වික්ටර් රත්නායකයන් බටහිර සම්භාව්‍ය සංගීතය වෙතම නැඹුරුවූ සංගීතඥයකු නොවන බව ඔහු සිය සරළ ගීත වැඩසටහන් සඳහා උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන, එමෙන්ම ගී තනුව(vocal melody) සඳහා භාවිතා කරන මීන්ඩ්( MEEND), ගමක්, කන් හා ආන්දෝලන් යන ශිල්ප ක්‍රමද සිය වාද්‍ය වෘන්දය සඳහා GAZETH, ජම් ජමාම් (ZAM ZAMAM),ක්‍රින්තන් යන ශිල්ප ක්‍රමයන්ද යොදාගැනීමෙන් පෙනීයයි.

 ඉහතින් ගුණදාස කපුගේ මහතාණන් සඳහන් කළ “මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී “ නම් ගීතය පටිගත කිරීමේදී , එහි පැමිණි වාද්‍ය වෘන්දය වෙත ඉඩ සැලසීමට සිදුවූ නිසා ශබ්දාගාර දෙකක් මැද වූ වෙන් කිරීම (PARTITION) ඉවත්කොට එක් ශබ්දාගාරයක් නිර්මාණය කිරීම ගුවන්විදුලි ඉතිහාසයේ පළමු හා එකම සිදුවීමයි.

මෙසේ වැඩිම වාද්‍ය වෘන්දයක් යොදා ගීතයක් පටිගතකළ පළමුවැන්නා වීමේ භාග්‍යය වික්ටර් හිමිකර ගත්තා සේම අවම සංගීත භාණ්ඩ ප්‍රමාණයක් එනම්, ඩොලැක්කිය හා හාර්මෝනියම් පමණක් යොදාගෙන ගීතයක් නිර්මාණය කළ පළමුවැන්නා වන්නේද වික්ටර්ය. එසේ නිර්මාණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විරචිත “පොඩි කුමාරිහාමියේ” නම් ගීයයි.

එමෙන්ම ගී තැටිය ධාවනය වන වේග දෙකක් ඇති අතර එම වේග දෙකම උපයෝගී කර ගනිමින් ගුවන්විදුලි ගීත සාහිත්‍යය තුළ ප්‍රථම වරට ගීතයක් නිර්මාණය කිරීමේ භාග්‍යය හිමිවන්නේද වික්ටර් ටමය. චිප්මන්ග්ස් නැමැති එම ශිල්ප ක්‍රමය මින් පෙර සරළ සංගීතය තුළ කිසිම ශිල්පියෙකු යොදාගෙන නොමැති අතර වික්ටර් ගේ මෙම භාවිතයෙන් පසු එම ක්‍රමයට වෙනත් ශිල්පීන්ගේ ගීත කිහිපයක් නිර්මාණය විය. මෙම ශිල්ප ක්‍රමය යොදා ගෙන වික්ටර් නිර්මාණය කළ ගීතය වන්නේ “පුංචි හාමු” නැමැති ගුවන්විදුලියේ වාරණයට ලක්වූ ගීතයයි. අද මෙන් නොව තාක්ෂනය අවම භාවිතයක් තිබූ එවන් අවධියක තාක්ෂණ ශිල්පීන් පවා විශ්මයට පත් කරමින් එම ගීතයේ පටිගත කිරීම සිදුකළේ රංජිත් එදිරිසිංහ නම් වූ තාක්ෂණ ශිල්පියාණන්ය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද පුද්ගල උඩු සිත සහ යටිසිත අතර ඇතිවන සංවාදයක් වෙනුවෙන් වික්ටර් තවත් ශිල්ප ක්‍රමයක් ප්‍රථම වරට භාවිතා කරන ලදී. ඒ “මාලිනියේ” නැමැති ගීතය සඳහාය. ඒ SOUND ON SOUND (හඬක් මත තවත් හඬක්) නැමැති තාක්ෂනය භාවිතා කළ ප්‍රථම අවස්ථාවයි.

ශ්‍රී ලාංකික ගී තනු සලකා බැලීමේදී අපට පෙනීයන්නේ උත්තර භාරතීය සංගීතය හෝ බටහිර සංගීතය ඇසුරු කරගත් තනු නිර්මාණයි. නමුත් වික්ටර් එම ඉහත කියන ලද සම්ප්‍රදායන් දෙකට අමතරව දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතයද සිය ගී තනු නිර්මාණකරණයේදී ඉතා සුගම ලෙස යොදා ගන්නා ලදී.

  • කොට්ට කෙලෙන්ගෙයි තම්බාලා
  • මීන නුවන් යුගින් බලන්
  • කුන්ඩුමනී

මෙසේ සරළ ගීය සඳහා මෙන්ම චිත්‍රපට සංගීතය සඳහාද ප්‍රථම වරට දක්ෂිණ භාරතීය කර්ණාට සංගීතයේ ආභාෂය ලැබුවේ වික්ටර්ය. උදාහරණයක් ලෙස සරුංගලය හා තවලම යන චිත්‍රපට යුගලයේ සංගීත භාවිත විමසා බලන්න.

ප්‍රේමගීත මෙන්ම දේශාභිමානී ගීත රාශියක් නිර්මාණය කොට ඇති වික්ටර් අතින් නිමැවුණු බොදු ගී සංඛ්‍යාව අති මහත්ය. එහිදී ඔහු විසින් පිරිත් හා ගාථා වල එන නාද මාලාවන්ද තුන්සරණේ කවිද සියුම් ලෙස රාගධාරී සංගීතයේ නාද මාලාවන්ද ඇසුරු කොට ඇතිබව නොරහසකි.

උපතින් බෞද්ධයකු වුවත් වික්ටර් සිය ගී තනු නිර්මාණය කිරීමේදී බොහෝ විට කතෝලික පල්ලි ආශ්‍රිතව ඇසෙන ගීතිකා සඳහා යොදා ගන්නා සමූහ ගායනා (chorus singing) සිය නිර්මාණයන් සඳහා යොදා ගත් අවස්ථා මෙන්ම ගැමි සංගීත නාද මාලාද ඇසුරුකොට ඇත. ඒ අනුව වික්ටර් උක්ත නාදමාලා උපයෝගී කොටගෙන කිතුනු ගී කිහිපයක්ද තනා ගයා ඇත.

මෙසේ නව අතහදා බැලීම් යොදා ගනිමින් විශ්වවිද්‍යාලයක් බඳු වූ සංගීතඥයකු වුවද, වික්ටර් කලා ශිල්පියෙකු ලෙස නිහතමානී ගුණයෙන් පිරිපුන්ව සිටින බව ඉඳුරාම පැවසිය යුතුයි.

නිහතමානීකම මෙන්ම කලාකරුවකුට අත්‍යන්තයෙන්ම තිබිය යුතු අභිමානය මුසු සියුම් ආඩම්බරයක් වික්ටර් සතුය. මේ නිසාම ඔහු “සොඳුරු හිතුවක්කාරයෙකි”.

මෙරට සිංහල සරළ ගීතයේ හැඩතල උඩු යටිකුරු  මේ පුරෝගාමී මෙහෙවරට නායකත්වය දුන් වික්ටර් නොවන්නට සිංහල සරළ ගීතය තවමත් සම්ප්‍රදායික නිම්වළලු තුළ සිරවී කණගාටුදායක ඉරණමකට ගොදුරුවනවා නිසැකය. ඒකාන්තය.

සම්ප්‍රදාය බිඳීම හා සරල සංගීතයේ නාද මාලා උඩුයටිකුරු කිරීම

Victor in SLBC, Studio 6
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 6වන මැදිරියේ සිට සංගීත පටිගත කිරීමක යෙදෙන වික්ටර් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 6වන මැදිරියේ සිට සංගීත පටිගත කිරීමක යෙදෙන වික්ටර්
Recording a song at SLBC
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිට ගීතයක් පටිගත කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිට ගීතයක් පටිගත කරමින්

වික්ටර්ගේ ගායන විලාසය හා හඬ හැසිරවීම

වික්ටර්ගේ හඬ මඳ සුළඟටත් හැඬැවෙන වීණාවක් බඳුය. වික්ටර්ගේ සුකුමාර ආධ්‍යාත්මය හෙළි කරන්නේ ඔහුගේ අතිසංවේදී මියුරු හඬයි. සිංහල වංශකතාවේ තමාටම ආවේණික දුලබ හඬකින් යුත් ගායකයන් අතර වික්ටර් හා අමරදේවයන්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. අමරදේවයන් ගායනයේදී, භාවනාවකට සමවැදුණු යෝගියකු බවට පත්වෙනවා. තම සුරතින් ඔහු නඟන අභිනය වික්ටර්ගේ භාවනානුයෝගී ගායනය තුළ දක්නට නැත. ඔහු ගීතයක් ගායනා කරන්නට සර්පිනාව හෝ වෙනයම් සංගීත භාණ්ඩයක් වෙත සමීප වන්නේ දේවපූජාවකට සහභාගිවන පූජකයකු ලෙසින්ය. මුළු ආත්මයම ගීතයට කැටි කරන වික්ටර්, පෙරදිග සංගීතයේ පවත්නා භාවමය වින්දනය පිළිබඳ අපූරු සංකේතයක් වෙයි. ගීතය හමාර වන තුරුම සිය ධ්‍යානයෙන් මිදී නොයන ඔහු බොහෝ විට මිනිස් චිත්ත සන්තානගත අතිසියුම් මනෝභාවයන් මුදාහරින ශාන්තිකර්මයක් ලෙස ගීතය උපයෝගී කැරගනී.

වික්ටර්ට ගීතය යනු හඩින් කරන අතිසියුම් රංගනයක්ය. ගිතයකදී ඔහු වචන හසුරුවන ආකාරයත්,වචනවල රැදුනු සංවේදී ගුණ ඉස්මතු වන අයුරින් ඊට ජීවය පොවා ගායනා කරන ආකාරයත්, විශිෂ්ට රංගනයත්, ශ්‍රාවකයා තුළ ප්‍රබල කම්පනයක් ඇති කරවන ආකාරයත් විශ්මය ජනකය.

පරිණත ගී චින්තනයකින් හා මධුර වූ ගායන ලීලාවකින් රසිකයා හා භාව භාෂණයක යෙදෙන්නා “සංගීතවේදියා” යන්න හැඳින්වීමට වඩාත්ම යෝග්‍ය වෙයි.

වික්ටර් රත්නායකයන් අරභයා මෙකී අර්ථදැක්වීම අතිශයින්ම යෝග්‍ය වෙයි.

වික්ටර් රත්නායකයන්ගේ නිර්මාණකාරියෙහි වෙසෙසින්ම සුදිලෙන සද්ධර්මයකි, ඔහු තුළ ඇති “නිර්මාණ නිර්ලෝභීත්වය”.

මොහිදීන් බෙග්, රුක්මණී දේවී, පණ්ඩිත් අමරදේව, සී.ටී ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා,එච්.ආර්.ජෝතිපාල, නන්දා මාලනී, ලතා වල්පොල,සිසිර සේනාරත්න, සුජාතා අත්තනායක,මර්වින් පෙරේරා,සනත් නන්දසිරි,නීලා වික්‍රමසිංහ, මිල්ටන් මල්ලවආරච්චි, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි,සෝමතිලක ජයමහ,ෆ්‍රෙඩි සිල්වා,නෙරංජලා සරෝජිනී,නිර්මලා රණතුංග, චන්ද්‍රලේඛා පෙරේරා වැනි ශිල්පීන්ගේ සිට ,සමිතා මුදුන්කොටුව,නිරෝෂා විරාජිනී,නෙලූ අධිකාරි, උරේෂා රවිහාරි වැනි පසු පරපුරත් , හර්ෂණ දිසානායක වැනි නවයොවුන් පරපුරේ ශිල්පීන් දක්වාමත්, විමසුවහොත් ඔහු තැනූ අමා තනුවක් නොගැයූ එකඳු ශිල්පියෙකු හෝ  නොමැති තරම් බව පෙනී යයි.

වික්ටර් යනු මධුර තනු උල්පතකි. ඔහු අන්‍ය ශිල්පීන්ට තම නිර්මාණ දානය කරන්නේ ඔවුන්ගේ තරාතිරම, යුගය හෝ අන් කිසිඳු උස් මිටි භේදයක් නොසලකමිනි. එමතුද නොවේ. ඔහුගේ ඇතැම් එවන් මධුර තනු නිසා, ඒ ඒ යුගයේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ තිබූ ඔහුගේම ගීතයක රශ්මියට සුළු හෝ බාධාවක් විය හැකි බව දැන දැනම හේ හොඳම තනුව අන්‍යන්ට පිදීය.

උදාහරණයක් ලෙස “සඳකඩ පහනක කැටයම් ඔපලා” ගීතය සර්වප්‍රකාරයෙන්ම එවක නව්‍ය ශිල්පියෙකුට කරන ලද පරිත්‍යාගයකි. තවද ඉතා රමණීය ගීතනු රැසක් නිමවා දී තමාව රසික හදවත්හි සදාතනික ගායකයකු බවට පත්කළේ වික්ටර් බැව් අබේවර්ධනම පවසා ඇත.

අද එමතනු,ගීත මෙන්ම අදාළ ශිල්පිශිල්පිනීන් සිටින ස්ථාවරය දෙස බලා වික්ටර් මුදිතා  ගුණයෙන් සැනහෙයි.

නිර්ලෝභී දානපතියා

ප්‍රේම් - රත්නේ සුසංයෝගය

Handwritings of Premakeerthi
ප්‍රේම්ගේ අත්අකුරින් වික්ටර්ට ලියා දුන් ගීයක් ප්‍රේම්ගේ අත්අකුරින් වික්ටර්ට ලියා දුන් ගීයක්

ප්‍රේමකීර්තිට වික්ටර්, “රත්නේ” විය.  වික්ටර් ට ප්‍රේමකීර්ති “ප්‍රේම්” විය. මෙම සුසංයෝගය පටන් ගැනීමේදීම ප්‍රේම් වික්ටර්ට ගීත හතරක් ලියා අවසන්ය. ඒ , 1967 දී ගුවන්විදුලියේ “සන්ධ්‍යා සේවය” සඳහා පී එල් ඒ සෝමපාලගේ ආරාධනයෙනි. එම ගීත හතරටම පදනම් වී ඇත්තේ ගැමි ගොවි ජීවන රටාව කේන්ද්‍ර කරගත් පරිසරයක වූ සිද්ධි මාලාවකි.

  1. හිරු පායන පාන්දරින්
  2. ගමේ ලඳුන් එක් වෙලා
  3. මුතු වරුසාවට තෙමිලා
  4. රනේ රුවට

වික්ටර්-ප්‍රේම් සුසංයෝගය ආකස්මික,ඉන්ද්‍රජාලමය සෞන්දර්යකින් හෙබි ප්‍රවෘත්තියක් නොවේ. එහි ඇති ඓන්ද්‍රීයබද්ධබව හා අවියෝජනීය ගුණය රැඳුනේ වික්ටර් විසින් සංගීතයේ ඇති කවියත්, ප්‍රේම් නැමැති කවියා විසින් කවියේ ඇති සංගීතයත් ඉසියුම්ව හඳුනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

තවද, එම ගේය පද රචනා වලට  වික්ටර්ගේ අතින් නිර්මිතවූ  ගී තනුව හා එම ගේය කාව්‍ය තුළ වූ අදහසට සම වැදී වික්ටර් විසින් ගයනු ලැබූ භාවමය සුගායනීය විලාශය හරහා, එම ගීතයේ කැටිවූ අදහස , රසිකයාට තමාද එය අත් විඳ ඇති බවක් දැනවීම තුලින්ද  මෙම සුසංයෝගයේ සාර්ථකත්වය මොනවට පැහැදිලි වේ.

ප්‍රේම් වික්ටර්ට ගීත රචනා කිරීමේදී ප්‍රේමය පදනම් කරගත් විවිධ වස්තු බීජයන්ට අදාළ ගේයපද රචනා විශාල ප්‍රමාණයක් නිමවා ඇතිබව සිංහල ගීත සාහිත්‍යය විමසා බැලීමේදී  අපට පෙනී යයි. එම රචනාවන් විවිධ මාතෘකා යටතේ ගොනුකළ හොත් ඉතාමත් සැකෙවින්  එම රචනා පිළිබඳව අප හට ඉතා සැකෙවින් මෙසේ ලියා දැක්විය හැක.

  1. කිපුණු ගති ඇති පෙම්වතියක් ගැන සානුකම්පිතව හා සිත තුළ උපන් ආදරය කැටිකරගත් පෙම්වතෙකු ලෙස, 
    • හිම සෙල මෙන්
    • සයුර විලස කැළඹෙයි
  2. සප්‍රලම්භ ගෘංගාරයෙන් යුක්තව පවතින ප්‍රේමයක රමණීයත්වය ගැන කියවුණු,
    • කතරට කුමටද වසන්තයක්
    • හිරුගේ කිරණ
    • මුදු පරම සුපිවිතුරු
    • උපද්දමින් මියුරු කල්පනා
    • තරු අත් අකුරින්
    • යන විට සතර අතේ
    • නැවුම් සුවඳින්
    • සඳට අහස ආදරේදෝ
    • සඳ හිරු තරු මැද
  3. සප්‍රලම්භ ගෘංගාරයේ අත්‍යන්ත ප්‍රතිපලය ලෙස, අනුරාගය කැටිවූ ගේයපද රචනා ලෙස
    • මල්සර උක් දඬු
  4. විප්‍රලම්භ ගෘංගාරය කැටිකරගත් ගේයපද රචනා ලෙස,
    • ප්‍රේම පරාදීසේ
    • ඒ දණ්ඩෙන් පිය මනිනු එපා
    • මට ලියා ගන්න බෑ
    • මගේ ගෙටත් උඩ
  5. අසම්මත ප්‍රේමය මත පදනම් වූ ගීත රචනා
    • අපෙ හැඟුම් වලට

මෙම ගීත රචනා වලට අමතරව ප්‍රේමයේ මේ දක්වා හසු නොවූ පැතිකඩක් ගැන ප්‍රේම් විසින් රචිත ගීත නැත්තේද නොවේ. ඉන් එකකි, පෙම්වතියකගේ අනියම් සම්බන්ධතාවයක් සිය දෑසින් දැක උපේක්ෂාවෙන් ඒ දෙස බැලූ අවිහිංසක පෙම්වතා ලෙසින් රචිත “සඳකැන් වැසිලා නම් වූ ගීතය”. එමෙන්ම සාංසාරික බැඳීමක් ගැන කියවෙන, එහෙත් මේ භවයේදී කිසියම් වූ හේතුවක් නිසා දෙපසට වෙන් වී ගිය නමුත් මින් මතු එළඹෙන භවයේද හමුවීමට පෙරුම් පුරනා පෙම් යුවලක් ගැන කියවෙන “ඔබේ දෙතොල් පෙති ලිහී” නම් වූ  ගීතය.

මේ අනුව පෙනී යන කරුණකි ,ප්‍රේම් වික්ටර් ට ප්‍රේමයේ හැම ප්‍රස්තුතයක්ම පාහේ ආවරණය වන පරිදි ගීත රචනා කොට ඇති බව. එසේම ප්‍රේමයේ ඉහලම අවස්ථාව වන මාතෘ ප්‍රේමය කැටිකරගත් ගේයපද රචනා කීපයක්ද ප්‍රේම්-වික්ටර් සුසංයෝගය තුළින් බිහිවී ඇත.

  1. ආදරයේ උල්පත වූ අම්මා
  2. මේ මහ පොළොවට
  3. මව් වෙස්සන්තර

මෙයට අමතරව ප්‍රේම් විසින් වික්ටර්ට රචනා කළ බුදු ගුණ ගීත සමුදාය පිළිබඳව සටහන් කළ යුතුම කරුණකි. මන්ද ප්‍රේම් සිය මිතුරා වූ රත්නේ දැන හැඳින ගත් පසු ඔහු වෙනුවෙන් මුලින්ම රචනා කළ ගීතය වූයේ “දෙව්රම් වෙහෙරේ” නම් වූ ගීයයි.

ප්‍රේම් විසින් වික්ටර් වෙනුවෙන් රචනා කරන ලද බෞද්ධ ගේය කාව්‍ය වල සැම විටම වාගේ සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගත හැකිවන ලෙස අනන්ත වූ බුදුගුණ කැටිකොට තිබුණු බව අප කා හටත් නොරහසකි. පසුව බෞද්ධ ගේය කාව්‍ය රචනා කරන ලද ගිහි පැවිදි කිසිවෙකුටත් ප්‍රේම්ගේ සරළ වුත් සුගම වූත් ගීත රචනාවන් අභිබවා යාමට හැකියාවක් නොලැබුණු බව අප කවුරුත් දන්නා කරුණකි. උදාහරණ ලෙස නිවන් දුටු හිමි, අරුණළු ඇතිරෙන හිමිදිරි යාමේ, දොම්නසින් බර නිම් වළල්ලේ, සමිඳු පාමුළ, සාගර ජලය, නිවන් දුටුවැයි, සසර සයුරු රඟනා, ජයසිරි මහ බෝ සෙවණේ වැනි ගීත දැක්විය හැක.ප්‍රේම් වික්ටර්ට රචනා කරන ලද බෞද්ධ ගේය කාව්‍ය වලින් කතා කරනු ලැබුවේ එක් සරළ සිද්ධියක් ගැන පමණි. එසේ වුවද ඔහු එම රචනාව ඉතා විශිෂ්ට ලෙස ගොනු කර තිබූ අතර එයට වික්ටර් විසින් යොදනු ලැබූ ගී තනුව හා එම තනුවට නිර්මිත වූ නාද මාලාව තුළින් හැම විටම සාධාරණත්වය ඉෂ්ඨ කොට තිබුණි. එසේම බෞද්ධයන්ට පමණක් නොව, අන්‍යාගමිකයන්ට පවා මෙම අනන්ත වූ බුදුගුණ ප්‍රවාහය කිරීමට ප්‍රේම්  සිය ගේය කාව්‍ය රචනාව මනා ලෙස කැටිකොට තිබුණි. එසේම  එම අනන්ත වූ බුදුගුණ අන්‍යාගමිකයන් අතරට ගෙනයාමට වික්ටර් සිය ස්වර ඥානය හා හඬ පෞරුෂය ඉතා සංයමයකින් යුතුව යොදාගෙන තිබුණු බව එම ගේය කාව්‍ය රචනා විමර්ශනය කිරීමේදී අප හට පැහැදිලි වේ.

මීට අමතරව ප්‍රේම් විසින් වික්ටර් උදෙසා රචනා කරන ලද ස්වදේශකානුරාගය උපරිම ලෙස යොදා ගත් ගේය කාව්‍ය රචනාවන් පහත පරිදි දැක්විය හැක.

  1. දෙදහස් වසරක්
  2. සිහළ දෑ අභිමන්
  3. නටබුන් අතරෙහි
  4. රනින් ඉරක් පායා
  5. නිවන මසිත නිවන දකින

60 දශකය අග භාගයේ සිට 70 හා 80 දශකයන් වල අප හට හිමිදිරි උදයෙන්ම බොහෝ විට අසන්නට ලැබුනේ ප්‍රේම් විසින් වික්ටර් වෙත රචනා කරන ලද දේශ මාමකත්වය කැටිවූ ඉහතින් සඳහන් කළ පරිදි වූ ගීත රචනාවන්ය. ඒවා හැම විටම පාහේ අප සිත් සතන් මහත් වූ ප්‍රබෝධයකින් පිරවූ  ගීත රචනා වූ අතර ඊට උචිත ලෙස වික්ටර් විසින් සම්පාදනය කරන ලද ගී තනුව හා සංගීත රචනාවන් අප සිත් සතන් තුලට දේශ මාමකත්වය කිඳා බැස්වීමට සමත් වූ රචනා බව නොපවසාම බැරිය. එවකට ප්‍රේම්ගේ ගීත රචනා තුළින් වහනය වූ නැවුම් අරුත් පිළිබඳව නොඉවසූ සමහර ප්‍රවීණ ගිතරචකයන් විවිධ වූ දෝෂාරෝපණ එල්ල කළ අවස්ථාද මුල් වකවානු තුලදී අප හට හමුවේ.

ප්‍රේම්-වික්ටර් ගේ සුසංයෝගය තුළින් බිහි වූ වෙනත් ගායක ගායිකාවන් විසින් ගායනා කරන ලද ගීතද මෙම දෙදෙනාගේ සුසංයෝගය පිරික්සා බැලීමේදී අප හට හමුවේ. ඒවා සැකෙවින් මෙසේ දැක්විය හැක.

  1. මර්වින් පෙරේරා -තාරුකා පායලා, ඉපදුනු දේශය වෙනුවෙන් කැපවූ
  2. මිල්ටන් මල්ලවාරච්චි- සුන්දරත්වයෙන් පිරි
  3. රෝහණ වීරසිංහ-නෙළුම් මලේ, කවුදෝ මට තනි රකින්නෙ, ඔබේ හසරැළි
  4. ශ්‍රීමති තිලකරත්න- අනන්තයට මා ඉගිලෙන, එක ගිණි කූරයි, කල්බලමින්
  5.  සුජාතා අත්තනායක-දෙතැනක පිපුනත්, වරෙක රිදුම් දෙයි, සනහස රැවූ දෙන
  6. ෆ්‍රෙඩී සිල්වා-පාන්කිරිත්තා, හඬ මාමා උඩින් යතේ, කුණ්ඩුමනි, සිතට නොගෙන
  7. එඩ්වඩ් ජයකොඩි - බැරි බර හින්දයි
  8. සුනිල් එදිරිසිංහ- බානෙන් බැඳ, හිසේ ගිණි ඇවිලෙතේ
  9. නෙරංජලා සරෝජිනී- ඔබ ඇදී යයි ඈත අහසේ, ලොව නිසසල වී
  10. සනත් නන්දසිරි- අදිරදවාදී කඳවුරු, අදිරද බැමි බිඳ, විදුලිය දිලි දිලි

ප්‍රේම් ගෙන් වික්ටර් හැර වෙනත් අය (සංගීතඥයන් නොවන) ගීත රචනා කොට ඉල්ලු හැම අවස්ථාවකම පාහේ ප්‍රේම් වික්ටර් ලවා එම තනුව නිර්මාණය කොට වික්ටර් ලවා ගායනා කොට පසුව එම අදාළ ගායන ශිල්පියාට ගී පද රචනාව දුන් අවස්ථා ඉතා විශාලය. අන් අය විසින් ප්‍රේම්ගේ නිර්මාණ ගායනා කලද ප්‍රේම්ට හැම විටම උවමනා වූයේ, එම ගේය පද රචනාව වික්ටර් ලවා ප්‍රථමයෙන්ම ගායනා කරවීමටයි. කවුරුන් හෝ විසින් වික්ටර්ගේ තනුවකට ප්‍රේම්ගේ ගීතයක් ගායනා කලේ නම්, එම ගීය ප්‍රථමයෙන්ම ගැයුවේ වික්ටර්ය. ප්‍රේම්ගේ පරම සතුට වූයේද එයයි.

ප්‍රේම් ජීවතුන් අතර සිටියදී මෙන්ම මියගිය පසුද මතු එළඹෙන අනාගතයටද ප්‍රේම්-වික්ටර්ගේ සුසංයෝගය කිසිවෙකුටත් බිඳ දැමිය නොහැකි මහ පවුරක් බව සිංහල ගීත සාහිත්‍යය විමසා බැලීමේදී පසක් වේ.

ඒ 1968 වර්ෂයයි. සුනිල් ආරියරත්න එවකට උසස්පෙළ පන්තියේ සිසුවකුව සිටියදී ප්‍රේමසිරි කේමදාසයන්ගේ “සිතිජය” නැමැති ඔපෙරාවක් වේදිකා ගත කෙරුණි. එහි පිටපත සුනිලුන්ගේ සොහොයුරු තිලකරත්න කුරුවිටබණ්ඩාරයන්ගේය. ඒ නිසාම එහි ගීත රචනා කිරීම ඔහු සිය බාල සොහොයුරා වන සුනිල් ආරියරත්නට පැවරීය. ඒ වන විටත් වික්ටර් සිහිල් සුළං රැල්ලේ, සෝක සැනසුම්, පාවේ වළා වැනි අතිශය ජනප්‍රිය ගීත කිහිපයක් ගයා සිටි ගායකයෙකි. සිතිජය ඔපෙරාවේ ගීයක් පුහුණුවීමට පැමිණි වික්ටර් සමඟ සුනිල් මිතුදමක් ඇති කර ගත් අතර ,එම ඇසුර ක්‍රම ක්‍රමයෙන් දිග් ගැස්සෙන්නට විය.                       

“කටු කොහොළින් පිරුණු ලොවින්-කිඩාරමින් වැසුණු ලොවින්

  රුදු උරඟුන් ගහන ලොවින්-පාළු මුඩුම වියළි ලොවින්

  එක පිම්මේ පියාසලා අළුත් ලොවට යමු ඉගිලී

   අපේ ගමන මුවා නොකොට සැඟවෙව් ගිජු ලිහිණියනී”

යනුවෙන් එදා සුනිල් ආරියරත්න ගීත රචනයට අත්පොත් තැබූ මුල්ම ගීතය ගැයුවේත් වික්ටර් සහ සනත් නන්දසිරියන්ය. මේ ඇසුර ඉන් නොනැවතී පැවතිණි. ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුවත් එය ගුවන්විදුලි වැඩසටහනකට මිස ගුවන්විදුලි පටිගතකිරීමකට රචනා කළ ගීතයක් නොවීය.

ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය නිෂ්පාදනය කළ “ගීත තරංගනී” නම් ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් සුනිල්ගේ ප්‍රථම ගීතය රචනා විය. ඒ “තොටුපළ අයිනේ කවුද අත වන්නේ” ගීතයයි.

 

සුනිල්ගේ තෙළිතුඩින් ලියැවුණු පළමු චිත්‍රපට ගීතය වූයේ රංජිත් ලාල්ගේ “නිම්වළල්ල” චිත්‍රපටයට වික්ටර් ගැයූ “හඳට අඬන කිරිදරුවෝ” ගීතයයි. එපමණක් නොව සුනිලුන්ගේ ප්‍රථම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය වූ “දුෂ්කර ක්‍රියා”(1975) සහ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වූ “අනුපමා”(1978)  යන චිත්‍රපට දෙකෙහිම සංගීත අධ්‍යක්ෂණය කළේද වික්ටර්ම වීම තවත් විශේෂත්වයකි.

එදා සිටි ජෙෂ්ඨයන් වූ බණ්ඩාර කේ විජේතුංග, කේ.ඩී.කේ ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස් වැන්නන් බොහෝ නම්‍යශීලී ගති පැවතුම් ඇති මිනිසුන් වූ නිසාම සුනිල් ට අවස්ථාවක් ලබා දීමට පෙළඹුණි. එදා ඒ ජෙෂ්ඨයන් පැවසුවේ “මේ වැඩසටහනට මගේ සිංදු දෙකක් තියෙන නිසා අපි සුනිල්ටත් එකක් දෙමු” කියාය.එදා වික්ටර් වටා ඉතා විශාල ගීත රචකයන් සංඛ්‍යාවක් බිහි වීමට හේතු වූයේ මේ ජෙෂ්ඨ ශිල්පීන්ගේ සොඳුරු සුහද භාවය නිසාය.

වික්ටර් රත්නායක ගීතාවලියේ රසභිව්‍යක්තිය වෙනුවෙන් දායක වූ ගී පද රචකයෝ රැසක් වෙති. ඔව්හුද වික්ටර් රත්නායකගේ නිර්මාණ ජීවිතය විවිධ ස්වරුපයෙන් රුපාන්තරණය වෙද්දී එහි ප්‍රදීප්තිය දල්වාලූ නිර්මාණවේදීන් හැටියට හඳුන්වාදීම යුක්ති යුක්ත වේ. අරිසෙන් අහුබුදු, පියසේන කොස්තා, මහගම සේකර, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, සේන වීරසේකර, මීගොඩ විල්සන්, ඩබ්. එම්. ටී. බණ්ඩාර, මහාචාර්ය තිලක් රත්නකාර, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ, බණ්ඩාර කේ විජේතුංග, සෝමපාල ලීලානන්ද, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ලුෂන් බුලත්සිංහල, කුසුම් පීරිස්, මහින්ද අල්ගම, බුද්ධදාස ගලප්පත්ති, ආචාර්ය අජන්තා රණසිංහ, පුණ්‍යසිරි මහවත්ත, ආචාර්ය ගාමිණී ෆොන්සේකා, දයානන්ද ගුණවර්ධන, කුලරත්න ආරියවංශ, රත්න ශ්‍රී විජේසිංහ, ගීතනාත් කුඩලිගම ආදීහු ඒ අතර කැපී පෙනෙන ගී පද රචකයන් වෙත්.

වික්ටර් - සුනිල් සුසංයෝගය

Sunil Ariyarathne and Victor Ratnayake
සුනිල් අරියරත්න සහ වික්ටර් රත්නායක සුනිල් අරියරත්න සහ වික්ටර් රත්නායක
Bio Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award