Tributes
- අම්මාමාගේ පුතා කුඩා කල මාගේ කීම් අසන්නෙක් විය. මා මහළු වූ කල, මම මාගේ පුතාගේ ගීත අසන්නියක් වීමි. එය මගේම ආඩම්බරයයි.
- තාත්තාමේ පුතා මම හැදුවේ මටය. එහෙත් ඔහු මුළු ජාතියටම හැදුණු පුතෙක් බව මටම පසුව දැනුනි.
- බන්දුල නානායක්කාරවසම්හොඳ පද මාලාවකින් තොරව හොඳ ගීතයක් බිහිවිය නොහැකි බව වික්ටර් තරම් පසක් කොට ගත් වෙනත් තනු රචකයෙක් හා ගායකයෙක් සිටීද යන්න පවා සැක සහිතය. ගීතයේ හැඩහුරුව අනුව ඊට අනුගත සංගීතය පෙරදිගද, බටහිරද, කර්ණාටක ජන සංගීතයද, බෙංගාලි ආභාසය ආදී වශයෙන් නිවැරදිව තීරණය කරන්නට වික්ටර්ගේ සංගීත පරිචය තියුණු විය. එම විවිධත්වය වික්ටර් විසින් පදමාලා වලට දායාද කරනු ලැබුයේ එවකට පැවති ඒකාකාරී සංගීත සංයෝජනයන් වෙතද විචිත්රත්වය ළඟා කරමිනි. අවසාන වශයෙන් වික්ටර් උදෙසා, මහා කවි ඩී එච් ලෝරන්ස් ලියූ කවියක් පරිවර්තනය කරමි. “මුතු පැහැපත් බව ඇත්ත, ඒත් ඔබ ඊට වඩා පැහැපත්. පළඳින්න මේ මුතු අප වෙනුවෙන්, ආදරය කරමු, මුතු වලට නොව පළඳින ඔබට.”
- මහාචාර්ය සුනිල් ආරියරත්නවික්ටර් රත්නායක සංගීත ක්ෂේත්රයට පිවිසෙන විට උසස් රසඥතාවක් ඇත්තාවූ සුළුතරයක් නිර්මාණාත්මක සංගීතයෙහි රස විඳිමින් උන්හ. අප්රබුද්ධයෝ අනුකාරක සංගීතයෙහි නිමග්නව සිටියහ. වික්ටර් රත්නායක මේ දෙපිරිස අතර පාලමක් ඉදි කළේය. ඒ පාලම මතින් දෙනෝදාහක් රසිකයෝ ප්රබුද්ධ ලෝකයට සංක්‍රමණය වූහ. සිංහල සංගීත ඉතිහාසය විමර්ශනය කරන්නෙකුට ඔහු විසින් කරන ලද්දා වූ මේ ඓතිහාසික කාර්යභාරය මැනවින් දැක ගත හැකි වන්නේය.
- ආචාර්ය අජන්තා රණසිංහඅද්යතන යුගයේ වික්ටර් නැමැති ගාන්ධර්වයාගේ නිසග නිපුණතා සහ විවිධ සංගීතමය කුසලතා මේ යැයි ඔහු විසින් නොමඳව දක්වා ඇත. මේ යශෝරාවය තුළ සංගීතවේදී වික්ටර් රත්නායක දේශීය සංගීතමය රාජධානියේ ඔටුන්න හිමි කුමරුවන් නොවන්නේදැයි අපි සංගීත රසික පර්ෂදයෙන් විමසමු. ඒ එසේ වුවත් නොවුනත් අපේ අනාගත අපේක්ෂාව මේ ගාන්ධර්වයා ම වන්නේය. ගාන්ධර්වයාණෙනි, අපගේ හෙට ගීත ශ්‍රාවක පරපුරට නව ලෝකයක් මවා නිම කර දෙන්න, නිම කර දුන මැනවි. රස භාව පෝෂණය හඳුනන, දේශීය සංගීතය පිළිබඳව ජන විඥානය කුමක්දැයි හෘදයාංගමව දන්නා අපට අභිමානයෙන් ලෝකයා හමුවේ ඉදිරිපත් කළ හැකි සංගීත නිර්මාණ ආස්වාද කොට ගන්නා රසික පරපුරක් බිහිකර දුන මැනව.
- පණ්ඩිත් අමරදේවපසු ගිය දිනකදී මා දේශනයකට සහභාගී වුණා. මා එහිදී ප්‍රකාශ කර සිටියේ වික්ටර් රත්නායකයන් සංගීත රත්නයක් බවයි. යම් කිසි කලාවකින් පුද්ගලයෙක් පරිණත වීමට කාරණා තුනක් සම්පුර්ණ කරගත යුතුයි. මේ අරුතින් ගත කළ ප්‍රතිභාව, ව්යූත්පත්තිය සහ සතතාභ්‍යාස නම් කාරණාත්රයෙහි වචනයේ පරිසමාප්ත අරුතින්ම වික්ටර් රත්නායකයන් පරිණත වී සිටින බව කිවයුතුය. මෙන්න මේ නිසයි වික්ටර් රත්නායක සුරීන්ට සංගීත රත්නයක් යැයි මා කියා සිටින්නේ.
- ජී.බී. සේනානායකවික්ටර් රත්නායක දුර්ලභ ඝණයේ කලා කරුවෙකි. ඔහුගේ නිර්මාණ තුල ඇත්තේ මිනිස් හදවත තුල නැගෙන අව්‍යාජ-සියුම් කම්පනයයි. එය ඔහුගේ නිර්මාණ කුසලතාවයට හසුවී අර්ථවත්, මියුරු නාද රටාවක් ඇසුරින් තීව්ර වී, නැවත සහෟදයාගේ-රසිකයාගේ හද බිතු මතට වැද, ජීවිතය පිළිබඳ ප්‍රසන්න රූපාවලියක් සිතුවම් කරයි. ඒ රූපාවලිය පෙනෙන්නේ හදවතටය. එහෙත් එයීන් ලැබෙන සුබාස්වාදය මුලු ජීවිත විජිතය පුරාම විහිද යයි.
- ගුණදාස අමරසේකරඅද ඇති සංස්කෘතික අහේනියෙන් අපේ ජනතාව බේරාගත හැක්කේ ඔවුන්ට දිරවාගත නොහැකි දිව බොජුන් ඉදිරිපත් කිරීමෙන් නොවේ. ඔවුන්ට දිරවා ගත හැකි, ඔවුන් දැන් ගිල දමන කැසට් බයීලා සූකර ආහාරයෙන් උන් මෑත් කර තැබීමට සමත් වන ප්‍රණීත ආහාරයකින් පමණි. දිව බොජුන්වලට පළමු ඒ ප්‍රණීත ආහාරයට ඔවුන් පුරුදු කළ යුතු වෙයී. වික්ටර් රත්නායක ඒ කාරියෙහි නියලුනු, යුගයට අවශ්‍ය කලාකරුවෙකු බව මගේ හැගීමයී.
- ආර්. ආර්. සමරකෝන්එක්තරා යුගයකදී සංගීත අට්ටාලමත රැව් පිළි රැව් දුන් කඨෝර ගීතයට නව අර්ථකථනයක් දෙමින්, එය ලක්දිව සතර දිග්බාගයේ වෙසෙන ලක්ෂසංඛයාත පොදු සහෝදර ජනකාය වෙත රැගෙන යමින්, සංගීතමය දුත මෙහෙවරක යෙදුනු වික්ටර් රත්නායකයන් වෙත ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු වෙයි. ගීතයේ වදන් වැල තමා තුළින් ජනිත කරවන කම්පනය, ඒ අයුරින්ම රසිකයාගේ හදවත තුළටද කා වැද්දිය හැකි සුවිශේෂ කුසලතාවක් ඔහු සතුව පවතී. වික්ටර් බුදු ගුණ ගීයක් ගයද්දී ඊට සවන් දෙන අපේ සිත්සතන්ද මෙත් සිහිලෙන් නෑහැවෙයී. එය දේශමානි ගීයක් වෙතොත්, අපටද රට දැය වෙනුවෙන් දිවි පුදන්නට සිතෙන අන්දමේ ප්‍රාණ වායුවක් අප හදවත් තුළටද රිංගාගනී. ආදර ගීයක් නම්, ආදරයේ ආස්වාදජනක චමත්කාරයෙන් අපේ සිත් ඇලලී යයි.
- ලූෂන් බුලත්සිංහලහින්දි චිත්‍රපට ගීතයෙන් අන්ද මන්ද වී වල්මත් වූ රසික පිරිසට, පියවි සිහිය ලබාදී ගෙදර කැන්දන් යාමට වෙර දැරූ සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව ආදීහු එලි පෙහෙලි කළ මාවතේ තවත් එක් ජයස්ථම්භයක් වූයේ වික්ටර් රත්නායකයි. වරද කරුවන් එල්ලා මරමින් සිටිනවාට වඩා නිවැරදි දේ කිරීමේ මහිමය පෙන්වීම සුගතියට හේතුවන බව වික්ටර් රත්නායක පෙන්වා දී ඇත.
- තිස්ස අබේසේකරරාගධාරී සංගීතය, හින්දි චිත්‍රපට සංගීතය, රවීන්ද්‍ර සංගීතය, බටහිර සම්භාව්‍ය සංගීතය, පොප් සංගීතය සහ සිංහල ජනගීත යන විවිධ සංගීත රීතින් ඇසුරු කොට නිර්මාණය වූ සිංහල ගීත අප අතර ඇත. විවිධ අභාසයන් ප්‍රකට කරන එම ගීත සියල්ලම එකට බැඳ තබන කිසියම් පොදු ආරක් හෝ එකමිතියක් ඇද්දැයි මම නොදනිමි. එහෙත් ඒ හැම රීතියකටම අයත් ගීත එක හා සමාන දක්ෂතාවයකින් හා මිහිරකින් ගැයූ ගායකයෙකු මට හැඳීන්විය හැක. ඒ ශිල්පී වික්ටර් රත්නායකයී.
- ඩෝල්ටන් අල්විස්මාතෘ භූමියට පුජා කිරීමට ඔබ රැගෙන ආ ගී මල් සියල්ලම පුජා කරන්න. ඒ මල් අමරණීය මල් බැව් අපි දනිමු.
- මහගමසේකරලාභ ජනප්‍රියත්වය නොපතා රස මනස වඩවන උසස් ගණයේ කලාකෘති නිපදවීමට වෙහෙස දරණ අපේ කලාකරුවන්ගේ සංඛ්‍යාව ඉතා අල්පයි. “ස” ප්‍රසංගය ඉදිරිපත් කරන වික්ටර් රත්නායක සිංහල සංගීත ක්ෂේත්රයේ එබඳු අතළොස්සකගෙන් එක් අයෙකි. ඔහු මෙරට රසික පරපුරේ විශ්වාසය දිනා ඇති අතර සිංහල සංගීතයේ ප්‍රගතිය අරභයා අප තුල මහත් බලාපොරොත්තුද උපදවා ඇත්තෙකි. ("ස" දහස් ගව්ව)
- මහාචාර්ය - එදිරිවීර සරත්චන්ද්රසංගීත ක්ෂේත්රය දෙස බලන විට, රවීන්ද්‍රනාථ ඨකූරයන් (තාගෝර්) නිදර්ශනයක් වශයෙන් ගත හැකිය. ඔහුගේ ගීත සරලය, ජනප්‍රියය. එහෙත් ඔහු රාගධාරී සංගීතය මැනවින් හැදෑරූ කෙනෙකු බව අපි දනිමු. වික්ටර් රත්නායකයන්ගේ සරල ගී වලින් අපට චිරකාල වින්දනයක් ලැබිය හැක්කේ ඔහු ද සංගීත ශාස්ත්‍රය මැනවින් හදාරා ඇති බැවිනි. ඔහුගේ කටහඬ පුහුණු වූයේ රාගධාරී ගීත ගැයීමෙනි. ඔහුගේ නිර්මාණවල ද ජනප්‍රිය ලක්ෂණ අතර ම හරබර ස්වභාවයක් ද ඇත්තේ රාගධාරී සංගීතයේ මේ ආභාසය නිසා යැයි හගීමි.
- Sumithra PerisI count Victor Rathnayake among the few Sinhala singers I genuinely respond too. The musicalty of his voice and the simplicity of his melodies are two qualities I admire in him. But above all I find him an impressive showman, a quality very rare among our singers. Victor Rathnayake has a magnetic stage presence, which seems to have helped him in his almost meteoric rise to popularty. “SA” which has become a part of our musical heritage, owes its success as much to Victor’s personality as to his voice.
- Nimal MendisVictor Ratnayake is a Musicians Musician and a Singer that shines even among international stars.
- එඩ්වින් ආරියදාසවික්ටර් රත්නායක සාමාන්‍ය කලා ලෝලීන්ගෙන් පවා රසිකත්වය උච්ච ස්ථානයකට පත් කළ කලා ප්රභූවරයෙකි. ගීත වීරයෙකි. අවිනීත, දළදඩු, පහත් රුචිකත්වයකින් ජනයාගේ කලා රසිකත්වය මොට කරන්නට දැරෙන වෑයම වික්ටර් ගේ ශාස්ත්‍රීය හා ජනප්‍රිය ගීත සංකල්පය නිසා බොහෝ විට නිශ්ඵල වූයේය. මේ අතින් ඔහු ශ්‍රී ලංකාවේ සංස්කෘතික දිවි පෙවෙත ඉහළ හිනක් වෙත ගෙනයාමෙහි ලා පුරෝගාමී වූ කලා නායකයන් අතලොස්සක් අතරින් අමරණීය ස්ථානයකට හිමිකම් කියන සංගීත පණ්ඩිතයෙකි. ඔහු සිංහල ශාස්ත්‍රීය සංගීතය ජනප්‍රිය කල අතරම, සෙසු ගායීක ගායිකාවන්ටත් කලා ලෝලයන්ගේ ආදරය දිනා ගැනීම පිණිස යා යුතු මල් මග හෙළි කළේය.
- ආරියදාස පීරිස්ගායකයෙකුගේ සහජ හැකියාව, ගායන විලාශය, ඒ සැටියෙන්ම ලොවට හඬගා කියන්නට කෙටිම, උපරිම, සුදුසු මාධ්‍යය ගුවන් විදුලියයි. එවැනි මාධ්‍යයේ නියමුවා නිවේදකයායි. ගායන ලොවින් මියුරු ගීයක් නිවේදකයෙක් අතට ලැබෙන මොහොත වැදගත් මොහොතක් බව නොකියාම බැරිය. නිවේදක වශයෙන් රාජකාරී කරන මා අතට, වික්ටර් රත්නායකගේ ගී අතුරින් මුලින් ම පත්වූයේ “සිහිල් සුළං රැල්ලේ” ගීතයයී. ඒ ගීතය ඇසු පමණින්ම ඒ ගීය ගයන ගායකයා කිසි දිනෙක දැක නැතත්, ගායන විලාශයෙන් කවදා හෝ ගායනා ක්ෂේත්රයේ අමරණීය රේඛාවක් වනු ඇතයී මට හැඟිණි. එදා සිට අද දක්වාත් වික්ටර් රත්නායකයන්ගේ ගීත ගුවනින් ප්‍රචාරය කිරීමට ලැබෙන හැම අවස්ථාවකම මා විදින්නේ අපරමිත සතුටක්! ඔව්, සත්තකින්ම ඔබ “සුදුවැලි කතරේ”- පිපුණ මලක්”. ඒ මල අපි ආරක්ෂා කරමු!
- ප්‍රේමසර ඈපාසිංහවත්මන් නාට්‍ය කලාවේ නව නැම්මක් ඇති කිරීමට මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ “මනමේ” ඉවහල් වුවාක් මෙන්, ඒක පුද්ගල සංගීත ප්‍රසංගයන් තුලින් සිංහල සංගීත ක්ෂේත්රයේ ඉතාමත් වැදගත් සංධිස්ථානයක් සටහන් වුයේ වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය තුලින් යයි කීවද එය අතිශයොක්තියක් නොවේ. නිහතමානී ශ්‍රේෂ්ඨ කලාකරු ප්‍රතිභා පූර්ණ ශිල්පී වික්ටර් රත්නයකයානෙනි., සකල ලාංකික රසික රසිකාවියන් වෙනුවෙන් ඔබට අපේ උපහාරය!
- රණසිංහ ප්‍රේමදාස
(දිවංගත ජනපති )වික්ටර් රත්නායකයන්ගේ ජනප්‍රියත්වයේ රහස නිසල හද සසල කරන්නටත්, සසල හද නිසල කරන්නටත් සමත් ඔහුගේ මධුර ස්වරය හා රිද්මයයි. එවැනි මධුර ස්වරයක් හා රිද්මයක් ජනිත කරවීමට වික්ටර් සමත්වන්නේ කෙසේද? වික්ටර් සිය පදමාලාව තුල ජීවත් වෙමින් ඒ හැඟුම් ශ්රාවකයා තුල ජනිත කරවීමට මහත් ආයාසයක් දරණ නිසාය. ඔහු ගයන්නේ පදමාලාවට හා තනුවට වශීවීමෙන් එක්තරා අවේශයක ස්වරූපයෙනි. ඔහුගේ ඒ ආවේශයෙන් අපිද වශිවෙමු. වික්ටර් අප හදවතේ කොනක ස්ථිරව ලැගුම්ගත් බවක් ඉනික්බිතිව අපට හැගේ. - එච් ආර් ජෝතිපාලඔබ “වික්ටර්” කෙනෙකි. මේ පුංචි රටේ මිශ්‍ර කාහලයන් මැද සිංහල ඒක පුද්ගල ප්‍රසංගයක් එක් දහස් වාරයක් පැවැත්වීමට මට නම් සිතන්නට පවා අසීරුය. එහෙත් ඔබ අද එම ජය ටැඹ වෙත පිය මං තබා ඇත. ඒ අතින් ඔබ ඇත්තෙන්ම “වික්ටර්” කෙනෙකි. ඒක පුද්ගල ගීත ප්‍රසංගයේ පුරෝගාමියා වන ඔබ නිසා අද ගායක ගායිකාවන් මහත් රැසකට ලක්ෂ සංඛ්‍යාවක් ඉදිරියේ තම ශිල්ප දක්වන්නට වරම් අත්වූ වගද නොකියාම බැරිය. සංගීතය පිලිබඳ මුහුකුරා ගිය අවබෝධයක් මට නැතැත්, ඔබේ ස්වර රටාවල ඇති කලාත්මක අගය මම දකිමි. ගීතය, සංගීතය මේ රටේ ජීවත් කරවීම පිණිස දරණ මහඟු වෑයමට ඔබෙන් නොසෑහෙන රුකුලක් ලැබෙන වගද මම දනිමි.
- ක්ලැරන්ස් විජේවර්ධනශිල්පී වික්ටර් රත්නායක දහස් වරක් සංවරයෙන් අපේ සවන් සැනසුවා. අපේම යැයි කිව හැකි නාද රටාවක් ඔහු අපට තිලිණ කළා. අප ඔහුට ස්තුතිවන්නේ ඒ නිසයි.
- වසන්තා සන්දනායකවික්ටර් පුතා සිතට එකඟව ගී ගයන්නෙකු බව ඔහුගේ ගී අසන හැමවිටකම මට හැඟෙනවා. “නිවන් දකින්නට පින් මදි වෙන්නැති, ඒකයි තවමත් සංසාරේ” යන ගීතය ඇසෙන හැම මොහොතකම මගේ දෑස්වලට කඳුළු නගින්නෙත් ඒ නිසා වෙන්නැති. දහස් වරක් නොව ලක්ෂ වාරයක් වික්ටර් පුතාගේ ගී හඬ යුගයෙන් යුගයට පවතීවායි කියා ඉතා පිරිසිදු සිතින් මා ප්‍රාර්ථනා කරනවා.
- සුනිල් එදිරිසිංහඔබේ කුසලතාවය මට මං තරුවක් විය. ඔබේ හොඳහිත මට ආලෝකයක් විය.
- ආර් මුත්තුසාමිනවසිය හැට ගණන් වල මා සංගීත අධ්යක්ෂවරයකු වශයෙන් කාර්ය බහුලව සිටියදී මාගේ වාදක මණ්ඩලයන්හි වයලීන වාදකයකු ලෙස මුලින්ම මම වික්ටර් රත්නායක දුටුවෙමි. වැඩි කල් නොගියේය. ඔහු ම මාගේ ඇතැම් චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු වශයෙන් දස්කම් දැක්වීය. කාලයාගේ ඇවෑමෙන් මා සංගීත ක්ෂේත්රයෙහි නිහඬත්වයක් දරද්දී ඔහු ම ඇතැම් චිත්‍රපට තුලින් සංගීත අධ්යක්ෂවරයකු ලෙස දුටිමි. අද ඔහු අපේ සංගීත ලෝකයේ බල කණුවක්ව සිටි.
- ස්ටැන්ලි පීරිස්
(සංගීත අධ්‍යක්ෂක)මා ඉගෙනගත් සංගීතය කුමක් වුවද, ඉන් ඉදිරියට එන්න මාගේ දෙපා වරුව ඔහුයි. එදා දුන් ධෛර්යයත් රැගෙන මා අද දින ශ්‍රී ලංකාවේ සංගීත රසිකයන් අතර සංගීත අධ්යක්ෂවරයකු ලෙස උසස් වීමක් ලබා ඔවුන්ගේ සිත් තුල ජීවත් වන්නෙමි. වික්ටර් රත්නායක ගායකයෙකු හෝ සංගීත අධ්යක්ෂවරයකුට වඩා නිහතමානී, මිනිස්කම් හඳුනන මනුෂ්‍යයෙකි. - අරිසෙන් අහුබුදුගීය තුලට හදවතින් පිවිසැ ගීයේ ආත්මය තමාගේ ද ආත්මය කරගෙන අරුතෙහි කිමිදැ රසය ලකර මතු කෙරෙමින් වික්ටර් රත්නායකයන් ගේ මුවින් නැගෙන හෙළ ගීයක් ඇසීමි. ලෙවි වැ සිටැ ලැබියැ හැකි ලොවුතුරා රසයක් කොටැ “බ්රහ්මාස් වාදයක්” කොටැ මම සලකමි.
- ඩී ආර් පීරිස්
(ගුවන් විදුලි සංස්ථාව)වත්මන් සංගීත ක්ෂේත්රයෙන් රසිකයනට ඉදිරිපත්වන රස නිර්මාණ අනාගතයේදී ඉතිහාසයට එක්වී පවතිනු ඇත. ඒ ඉතිහාසය බබලවන නම් අතර වික්ටර් රත්නායක යන නමත් රත්තරන් අකුරින් ලියැවෙනු ඇත. - Lester James PeriesElements of western music have been seeping into Sinhala song ever since Devar Surya Sena started singing in the late ‘20s. But I think it was only in the late 60s that techniques of western music came to be absorbed by local Composers and Singers. Victor Rathnayake reflects this trend. He is undoubtedly tutored in the Oriental tradition, but in his voice and in those delightful melodies he composes himself, there is a judicious blend of both the Oriental and western traditions. This, I think, accounts for his phenomenan popularity. The sound of contemporary western music his part of the musical experience of the post-war generation in most parts of the world and those musicians who accept this fact become effective communicators in song. Victor Rathnayake is one such singer/musician. I think one can sit him somewhere between Sunil Shantha and Amaradeva. He is obviously simplistic as Sunil, and also complex as Amaradeva. VICTOR RATHNAYAKE MAKES THE AVERAGE LISTNER FEEL HE IS A CONNOISSEUR.
- Noeline HonterVictor Rathnayake has undeniably carves a special niche for himself in the Sri Lankan music world. Victor possesses a rich voice and a unique style and creativity of a calibre which definitely places him among the masters of our music.
- කරුණාරත්න දිවුල්ගනේසිංහල ගීතය ප්‍රාසාංගික කලාවක් ලෙස පොදු ජනයා අතරට ගෙන යාමේ ව්‍යායාමයෙහි පුරෝගාමියෙකු ලෙස ආචාර්ය වික්ටර් රත්නායකයන් “ස” ප්‍රසංගය තුළින් ඉටු කළ මෙහෙය සදානුස්මරණීය වේ. සුභාවිත ගීතයෙන් ශ්‍රාවක ජන මනස සුපහන් කිරීම සඳහා තම ජීවිත කාලයම කැප කළ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬ තාමත් තරුණය. පරපුරකට මඟ එළි දැල්වූ ඒ හඬ අනාගත පරපුරෙ ද රස මනස පෝෂණය කරන ඔවුන් සවන් දෝතින් බිබී තුටුවන සිහිල් දිය උල්පතක්ම වේවායි පතමි.
- හෙන්රි ජයසේනදැයක් නැලවූ ඔබේ මුවග, තවත් ගී මල් දහස් ගණනින් සියක් දිගුකල් පිපේවා.......!
- ගාමිණී ෆොන්සේකාරැයකට තිස් වරක් පෑ ගණනක් ඔස්සේ, දහස් වාරයක්, වස් ගණනක් තිස්සේ, එක් හඬකින්, නා නා ස්වරයන්ගෙන්, එක් කෝටි හමාරක් මිනිසුන් පිනවන්නට, විරු එඩියෙන් උතුරවන්නට, බුදු ගුණයෙන් දොවන්නට, ආදරයෙන්, කරුණාවෙන්, මෙත් ගුණයෙන් හදවත් සිසිල් කරවන්නට, සුවඳ කරවන්නට, එක් මිනිසෙකුට හැකිවේනම් ඒ මහගු කලාකරුවෙකුට පමණි
- අයිවෝ ඩෙනිස්ඔහුගේ ගායන ස්වරය හද බැදගන්නා සුළුය. හඬ හැසිරවීම මනා සංයමයකින් යුක්තය.
- මාලනී ෆොන්සේකාගාන්ධර්වය - ඔබ අප හදවත් ගැහෙනා රිද්මය හඳුනා ගත්තෙහිය. ඒ නිසාම අප හදවතට ඔබ ගී ගැයුවෙහිය. ඔබේ ගී රාවය තව දස දහස් ගව්වක් දුරට ඇසේවා. අද මෙන් හෙටත් වික්ටර්, ඔබේ ගීතයකින් අපි ප්‍රමුදිත වන්නෙමු.
- ශ්‍රියානි අමරසේන“ස” ප්‍රසංගය ආරම්භ කළ මුල් දිනයේ මමද ඔහුගේ ශ්‍රාවිකාවක් වීමි. සුළු මොහොතකට එදා මා ගෙන ගිය චමත්කාර ලෝකය අද වුවද නිවැරදිව - පැහැදිලිව මට සිහිපත් කළ හැක. එදා මෙදා දක්වා ඔහුගේ සංගීතයෙන් - ගායනයෙන් පිනා ගිය සිත් ඇති දස දහසක් අතරට මම ද එක් වෙමි.
- සබීතා පෙරේරාඔබ ගී ගයමින් සංගීතය තුළ නව නිර්මාණාත්මක අත්හදා බැලීම් කලෙහිය. ඔබේගේ ඒ නිර්මාණ එලි දැක රසිකයින් අතරට පත්විය. රසිකයෝ ඔබේ ඒ නිර්මාණ අගයමින් ඔබට ප්‍රතිචාර දැක්වූහ. මා ද ඉන් එක් අයෙකි.
- සෝමලතා සුබසිංහසිංහල සංගීත රසිකයින් අතරමංවී සිටි සමයක් විය.ශාස්ත්‍රීය සංගීතය පොදු රසිකයින්ට හරබර වැඩිවීය. එවකට වූ සරල සිංහල සංගීතය පොදු රසික හද බැද ගැනීමෙහි සමත් නොවීය. එවන් සමයක ගායනය භජනය කළ විෂය, තනුව, ගායන ශෛලීය, පහන් හැගීම් දනවන මිහිරි කටහඩ යන මේ සෑම අංශයකින්ම පොදු රසිකයාට සමීප වී, ඔහු හද දිනා, සියුම් ලෙස ඔහුගේ රුචිකත්වය යහ මගට යොමු කිරීමේ විශිෂ්ට කලා මෙහෙවරෙහි පෙරටුවේ ගමන් ගත් අයෙකි වික්ටර් රත්නායකයන්.
- ධර්මසිරි ගමගේවික්ටර් රත්නායකයන්ගේ මධුර ස්වරයෙහි ඇත්තේ විස්මිත ආකර්ෂණයෙකි. එය වරෙක ප්‍රේමාන්විතය. වරෙක සමාධි ගුණයෙන් යුක්තය. සියල්ලටමත් වඩා වරෙක වේදනාත්මකය.
- ප්‍රේමකීර්ති ද අල්විස්හිමිදිරි පාන්දර කරේ සාලුවක් දමාගෙන සිය මිදුලේ දසත වවා ඇති මල් පැල මත පිපුනු මල් පොකුරු දෙස දැඩි නිශ්ශබ්දතාවයකින් බලා සිටින වික්ටර් මම දැක ඇත්තෙමි. නැතහොත් මාලු ටැංකියක් දෙස නිහඬව බලා සිටින වික්ටර් මම දැක ඇත්තෙමි. මිතුරෙකු හෝ ආගන්තුකයෙකු හෝ නිවසට ඇතුලුවන විට කටපුරා දැඩි ස්නේහයකින් සිනාසෙන ඔහුට, ගෙබිම එලු පලසක් මත එරමිනිය ගොතා ගෙන දුම් වැටියක් උරමින් පද මාලාවක් දෙස බලා, සර්පිනාවෙන් තනුවක් යොදන වික්ටර් මම දැක ඇත්තෙමි. ඒ හැම මොහොතකම වික්ටර් තුලින් වික්ටර් කෙනෙක් මම දකිමි සමහර විට වේදිකාවක ගී ගයන වික්ටර් පමණක් දැක ඇති රසික පිරිසට අමතරව, ඔහුගේ ගීත ලියන්නෙකු වශයෙන් හා ඉතාම සමීප මිත්‍රයෙකු වශයෙන් මට ඒ අත්දැකීම හොදට හුරුය. වරෙක මා වික්ටර්ගේ පවුලේ සහෝදරයන් අතර සහෝදරයෙකු වීමි. ඔහුගේ මිත්‍රයන් අතරේ මිතුරෙකු වීමි. ඔහුගේ ගීත රචකයින් අතරේ ගීත රචකයෙකු වීමි. ඔහුගේ නිවේදකයන් අතරේ නිවේදකයෙකු වීමි. ඔහුගේ මව සහ පියා අතරේ දරුවෙකු වීමි. ඔහුගේ ශ්‍රාවකයන් අතරේ ශ්‍රාවකයෙකු වීමි. මේ සෑම අවස්ථාවකදීම මම ඔහුට “ප්‍රේම්” වීමි. ඔහු මට “රත්නේ” විය.
- මහාචාර්ය කාලෝ ෆොන්සේකාඔහුගේ කන්කළු ගැයුම් අභිමුඛයෙහි මාගේ හදවත ප්‍රකම්පනය වේ. වික්ටර්ගේ කලාවේ යථා තත්ත්වය බුදුන් වහන්සේ පන්සිළු සංගීතඥයාට වදාළ දේ සිහි ගන්වයි. “ඔබගේ වාදනය ගායනය සමගත්, ගායනය වාදනය සමගත් එකිනෙක ගැලපේ. වාදනය ගායනය ඉක්මවා නොයන අතර ගායනයද වාදනය ඉක්මවා නොයයි. ඔබ මේ ගීත නිර්මාණය කළේ කවරදාද? ” මා වික්ටර් රත්නායකගෙන් විශ්මය මුසු චමත්කාරයෙන් අසන්නේ, ඔබ මේ ගීත නිර්මාණය කළේ කෙසේද කියායි.
- විශාරද නීලා වික්රමසිංහඅප වඩ වඩාත් වික්ටර් රත්නායක නම්වූ ගාන්ධර්වයා කෙරෙහි ආසක්ත වීමට හේතු වූයේ ඔහු කෙරෙන් වහනය වූ නැවුම් නිර්මාණමය සුගන්ධයයි. ඔහු සංගීත ක්ෂේත්රයට පියනැඟුවේ ඔහුටම ආවේනික, ඔහුටම අනන්‍ය වූ ආරක් ගොඩ නඟාගෙනයි. ඊට පෙර ඔහුගේ හඬින් ගී ගැයූ කිසිවෙක් සිටියේ නෑ. වික්ටර් රත්නායකයන්ගේ හඬ මියුරු වැඩි යැයි වෙලාවකට මට සිතෙයි. ඔහුගේ හඬ ඒ තරම්ම සංගීතමය වූ පිරිමි හඬක් බව කිව මනාය. අදත් එදාටත් වඩා ලගන්නා සුලු පිරුණ බවක් මට ඔහුගේ කටහඬින් ඇසෙයි.
- විශාරද නන්දා මාලනීවික්ටර් කියන්නේ අති මධුර වූ ගී තනු උල්පතක්. ඔහුගේ ගීත චාරිකාව තුළ ගයා ඇති ගී වලින් අති බහුතරය ඔහුගේම තනු වීම නිසා ඔහුගෙන් තනුවක් නිර්මාණය කරවා ගැනීමට බොහෝ ගායක ශිල්පී ශිල්පිනියන් වික්ටර් වටා රොක් වුනා. අද මෙරට සිටින තරුණ පරපුරේ වැඩි දෙනා වික්ටර් රත්නායකයන්ගේ ගායනයෙන් ප්රබෝධයට පත්ව සංගීත ක්ෂේත්රයට පිවිසුන අයය යන්න මගේ පෞද්ගලික හැඟීමයි. වික්ටර් සරළ සංගීතය තුළ සාම්ප්‍රදායික සීමා වැට කඩොළු බින්දා. ඔහුගේ ඒක පුද්ගල ගී දැහැන "ස" ප්‍රසංගයට සංගීත ලෝලී තරුණ පිරිස් වහ වැටුනා. මට මතකයි ආරාධනා ලැබී සහභාගී වුනාට අමතරව පස් හය වතාවක් මුදල්ගෙවා ප්‍රවේශ පත් අරගෙන මා වික්ටර් ගේ "ස" ප්‍රසංගය බලන්න ගියා. ඒ තරම් වින්දනයක් අප ඉන් ලද බව කියන්න ඕනේ.
- විශාරද ගුණදාස කපුගේ"අමරදේවයන් බොහෝ විට උතුරු ඉන්දියානු රාගධාරී සංගීතයේ පිහිටා ගි තනු නිර්මාණය කරනු ලැබීය. සමහර ගීත ශුද්ධ රාග මනාව පිහිටා නිර්මාණය වූ ඒවාය. අමරදේවයන් සිංහල ගීතයට ස්වතන්ත්‍ර වේදිකාවක් සකස් කළේය. මේ පදනම තුළ බිහිවූ ශිල්පීන් තිදෙනා අතරින් වික්ටර් සුවිශේෂී ය. සරළ සංගීතය තුළ සිංහල ගීතයේ විශාල නිම් වළලු පුළුල් කිරීමක් වික්ටර් අතින් සිදුවිය. ගීතයට "කවුන්ටර් මෙලඩීස්” නොහොත් "අන්තර් සංවාදන” ආදිය යොදා ගනිමින් රාගාශ්‍රිත ගී තනු තුළ සිරවී තිබුණු සිංහල ගීතයේ සීමා මායිම් ඔහු සිඳ බිඳ දැමීය. එතෙක් සංගීත භාණ්ඩ කීපයකින් පමණක් නිර්මාණය වූ සිංහල ගීත වල වෙනසක් කරමින් වික්ටර් විසින් ඩ්‍රම්ස්, ඔබෝ, සැක්සෆෝන්, චෙලෝ, කොරැංගලි වැනි ආගන්තුක සංගීත භාන්ඩ ගුවන් විදුලිය තුළට කැඳවාගෙන එන ලදී. ගුවන් විදුලියට නුහුරු සංගීත භාණ්ඩ මෙන්ම ගුවන් විදුලියට කිසිදා පය නොගැසූ පුද්ගලයන්ද ඔහු කැඳවාගෙන ආවේය. එවකට විත්ර කර්ම ගුරුවරයෙකුව සිටි ස්ටැන්ලි පීරිස්, සරත් වික්‍රම වැන්නවුන් ඊට නිදසුන්ය. මා දකින්නේ වික්ටර් එවකට පැවති එකම විද්‍යුත් මාධ්‍යය වන ජාතික ගුවන් විදුලිය මඟින් රසික ජනතාව මෝහනය කළ පමණක් නොව ඔවුන්ගේ බුද්ධියද ඥාණනය කළ බවයි.
- ජැක්සන් ඇන්තනීපෙම් සිත විඳගන්නට එහි ඇළී ගැලී මත්වී නිද්‍රාගත වන්නට බොළඳ වෙඬරු සිත ගිනියම් වන්නට අනගි නුරා පෙම් සුව විඳගත් පරිද්දෙන්ම වියෝවේ රළු පහසද දෑස් පියා විඳගන්නට පෙම් සිත කියවාගන්නට විඳගත් දුක් පීඩාවන්, සුබ ප්‍රහර්ෂයෙන් එකට පොකුරු වූ අසනිය දෝතක් සේ ගෙන බැති සිතින් පූජා කරනට මට දෙවොලක් තිබුණි. දෙවොල අරා සිටි සොඳුරු මුනිවරයෙකි. මම මගේ යොවුන් මුනිවරයා වන්දනා කෙරුවෙමි. ඇදහුවෙමි, අනුගමනය කෙරුවෙමි, අනුකරණය කෙරුවෙමි. කිකලකවත් ළංවිය නොහැකි මගේ මුනිවර තාරකාව දෙස මම තව දුරටත් බලා සිටිමි
- ආචාර්ය රෝහණ වීරසිංහශ්‍රී ලංකාවේ ප්රසාංගික හා සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනැමීම එතුමන්ගෙන් එම උපාධියට සහ ආයතනයට ලැබුණ ගෞරවයක් යැයි මට සිතේ. එතුමන්ගෙන් සිංහල සංගීතයට සිදුවූ මෙහෙවර එතරම් දැවැන්ත පරාසයකට විහිදී ගිය එකකි. මා අද ශ්‍රී ලාංකීක නිර්මාණ ක්ෂේත්රයේ කිසියම් ස්ථාවරයක රැඳී සිටීනම් එහිලා ගුරු කොටගත් පූර්වාදර්ශකයන් අතරේ එතුමන්ගේ නම මා ඉහළින්ම ලියා ඇත්තේ එහෙයිනි.
- ආචාර්ය සෝමරත්න දිසානායකපණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රවේශය නව සුභාවිත ගීත රටාවක සුබවාදී ආරම්භයක් වුවද, එය උගතුන්, වියතුන් හා කිසියම් උසස් වින්දන මට්ටමක් ඇති සීමිත පිරිසක් අතර පමණක් නතර වූවා මිස, පැවති අනුකරණවාදී රැල්ල අභිභවා සාමාන්‍ය රසිකයන් බහුතරයක් අතරට යාමේදී මන්දගාමී විය. අමරදේවයන් රෝපණය කළ සුභාවිත ගීතය නම් සුගන්ධවත් මල් උයනට හුදී රසිකයා එතෙර කළ පාලම නිර්මාණය කළ විශ්වකර්ම දේව පුත්‍රයා වික්ටර් රත්නායකයානෝ ය. එබැවින් වික්ටර් යනු රත්නායකයන්ගේ ජයග්‍රාහකයා නොව සකල සිරිලක ගීත රසිකයන් ජයග්‍රාහකයින් කළ සුපින්වතානෝ ය. ඔහුගේ ප්රාතිහාර්යයේ රහස නම් ඔහුට ආවේණික වූ එම මෝහනීය ගී ස්වරය තුල තනු නිර්මාණකරුවෙකු සහ භාව පූර්ණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු ද සැඟව සිටීමයි. එය ඔහුගේ නොව අපගේ වාසනාවයි.
- මහාචාර්ය සරත් විජේසූරියඔබ ගී නද, ඔබේ ගී තනු, රස මිහිරි හද පුබුදු කරවයි, නහර තුල නිති පිරී'තිරී පවතී ජීවනයේ රුධිරය ලෙසින්, සුව සදයි නිති ගිම් නිවන්නට
- පුජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමි.දහසක්ගීපද මාලාවන්ට පණ දුන් ඔබේ මධුර ගී හඬ, මධුර ගී තනු - අපූරු සප්ත ස්වර වියමන් වලින් පළ කළ ප්‍රතිභාව,මෙරට නොව,දෙස් විදෙස් වලත් රාව ප්රතිරාව නංවන්නේය.ගරු බුහුමන් ලබන්නේය. ආසිරි පුජා පහන් දල්වන්නේය. මහ මෙරක් සේ නොසැලි පැමිනි මග අතර මග, වැව් තෙරක බුදු රුවනක් අසල හිඳ, නිවි සැනසෙන අයුරු මා සිතෙහි චිත්රණය වන්නේය. නිදුක්,නිරෝගී,ශාන්ත,ප්‍රණීත,සුවදායක, මුනිවර ජිවිතයක ලකුණු ඔබ තුලින් මම දකිමි.
- අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
(කොළඹ අගරදගුරු)ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීත ක්ෂේත්රයට පිවිසෙන විට සුභාවිත සංගීතයේ සුවිශේෂී රස ගුණය විඳින්නට ලොල් වූ හදවත් ඇත්තන් විසුවේ සුළුවෙනි.බොහෝ දෙනෙක් අනුකාරක සංගීතයේ රසයවිඳින්නට පෙළබි සිටියහ. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ මධුර,මනෝහර ගායන ශෛලිය ඒ දෙකොටසම එකට බැඳ තබා ගත් මා හැඟී පාලමක් බඳු විය.හැටේ දශකය අග බාගයේදී ඔවුන් බැඳී ඒ පාලම හරහා නවෝදයක පිබිදුණු මනස් තලයකින් ප්රබුද්ධ වූ ලෝකයක් සොයා තරුණ පරම්පරාව පියමං නගන්නට පසු බට වුයේ නැත. එය අපිදු අත්-දැක ඇත්තෙමු - කලාසුරි සතිස්චන්ද්‍ර එදිරිසිංහආචාර්ය වික්ටර් රත්නායකයන් සුවිශේෂී සංගීතවේදියෙකි.ඔහු සංගීත විෂය ගැන ලියන කියන සාහිත්‍ය කරුවෙකි.මා මෙසේ මෙතුමන් හඳුන්වන්නේ තමා ජිවත් වන සමාජය නිසි ලෙස තේරුම් ගෙන අයුක්තියට,අසාධාරණයට,අනුචිත දෙයට සහ නොහොබිනා දෙයට නොබියව සටන් කරන නිර්ව්‍යාජ කලාකරුවෙකු නිසාය.
- නිරංජලා සරෝජිනීගායකයෙක් වශයෙන් ඔහුටම ආවේනික වූ සුවිශේෂී ගුණාංග රාශියක් ඔහුටපිහිටලා තියෙනවා.යොවුන් ආදරය ගැන කිව්වත්,මාතෘ ප්‍රේමය ගැන කිව්වත්,බුද්ධාලම්බන ප්‍රීතිය ගැන කිව්වත්,විරහව ගැන කිව්වත්,සතුට,සොම්නස ගැන කිව්වත් මේ හැම දෙයක්ම උපරිමයෙන් දනවන්නට ඔහුගේ කට හඬට හැකියි. මේ ලෝකයේ හැම මනුෂයෙකුටම පහසුවෙන් පිහිටන දක්ෂතාවයක් හා හැකියාවක් නොවෙයි ඒක. සඳ පහන් වූ රැයක ඈතින් “තනි තරුවේ” වැනි ගීත ඇහෙනකොට එවන් නිර්මාණ අපට දායාද කළ ඒ විශ්මිත නිමැවුම්කරුට අපි ස්තුති නොකර සිටින්නේ කොහොමද? සුවහසක් රසික සිත් සැනසූ ඔබේ ආදරණීය කටහඬට ලොබ බැඳගත් ප්‍රේක්ෂක පිරිස අතරට මමත් එක් වුනේ මීට අවුරුදු ගණනාවකට එපිටදී.
- මහාචාර්ය සමන්ත හේරත්ගායනවේදයෙහි ලා ඔහු පාන පෙළහර ජන්ම දායාදයක් විනා අන් කුමක්ද? ඔහුගේ කටහඩ අති දුර්ලබ ගණයේ එකකි. එය මධුරය, චාරුතරය. සැබවින්ම එය කර්ණාමෘත නාදාමන්ත්රණයකි. එය අනුකරණය කළ නොහැකි හඬකි.ඔහුගේ ස්වරයන් ගායන ලීලයන් ඔහුටම සුවිශේෂී වූ ස්ව ලක්ෂනාත්මක අනන්‍යතාවක් නිසැකව දක්වා සිටි. මන්ද්‍ර මධ්‍ය තාර ආදී සප්තක අභේදීව ආශ්‍රය කරමින් ඔහු රසික හදවත් මණ්ඩලය කම්පනය කොට තමා වෙතට අවනත කර ගනී.ඉන් ඉක්බිතිව රසිකයා පිවිසෙන්නේ ඔහු විසින් දක්වන ලද අනන්තානන්දය උතුරා යන අභිනව ඉසව්වකටය. මේ මෝහනීය ගුණය වික්ටර් රත්නායක ගායකයෙකු ලෙස පුරා සයසාලිස් වසක් නොනැසෙන ආදරයකින් මෙරට රසික ජනයා වෙත ඇඳ බැඳ තැබූ සාධකයයි.
- Ravindra RandeniyaVictor is a gift to the nation, he is indeed a national icon. In early 70’s victor become a sensation. Bringing a new flavor to what is called Sri Lankan music. His range fusing noorthi tradition. Indian ragas and creating a genre of authentically Sri Lankan style of music is commendable. Despite commercialization creeping in to the musical industry. Victor was one of the few artist who never bowed his head to this freed. I believe that the secret behind Victor’s ever green appeal is the fact he remains deeply rooted in the Sri Lankan culture. He is indeed a son of the soil and as a nation we are indebted to this great artiste for enthralling several generations.